අවදානමට ලක් වු ඓතිහාසික නාඋල අම්බලම

අවදානමට ලක් වු ඓතිහාසික නාඋල අම්බලම

August 27, 2019   10:00 pm

දෙවන පෑ තිස් රජ සමයේ සිට පැවැත එන නාඋල ඓතිහාසික අම්බලමේ කනුවක බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් හානි සිදුව ඇතැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මහනුවර-යාපනය ඒ නවය මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකරන පෞද්ගලික සමාගමකට අයත් බැකෝ යන්ත්‍රයක් මාර්ග සංවර්ධන කටයුතු සිදුකරන අවස්ථාවේ දී අම්බලමේ ඉදිරිපස කනුවට හානි සිදුකර ඇති බවට තොරතුරු අනාවරණවී ඇති බව ඊයේ (27) අම්බලම පරිශ්‍රයේ නිරික්ෂන චාරිකාවක නිරත වු නාලන්ද ගෙඩිගේ භාර පුරා විද්‍යා ඒකක නිළධාරින්ට හදුනා ගැනීමට හැකිවිය.

සිංහල රාජ්‍ය සමයෙන් පසුව ඉංග්‍රිසි පාලන සමයේ දී (1880 දශකයේ ) නාඋල ශ්‍රි නාග ජාතික පාසලේ ආරම්භ සිදුවන්නේ ද මෙම අම්බලම මුල්කරගෙන බව ඉතිහාසයේ දැක්වෙයි.

පසු කාලීණව අවස්ථා ගනනාවක දී පැවති රජයන් මගින් ප්‍රතිසංස්කරණය වන නාඋල අම්බලම අවසන් වරට සංවර්ධනය වන්නේ පසුගිය රජය සමයේ දීය.

ඓතිහාසික අතින් වැදගත් කමක් උසුලන නාඋල අම්බලම මාර්ග සංවර්ධනය හේතුවෙන් මේ වන විටත් දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටියේය.

මාර්ගය පලල් වීමත් සමඟ අම්බලමේ හරි අඩක් මේ වන විටත් මාර්ගයට නිරාවරණය වී ඇති බවත් වැඩ අවස්න වූ පසු ඒ නවය මාර්ගයේ ගමන් ගන්නා රථවලින් අම්බලමට හානි සිදුවිය හැකි බවත් ඔවුහු කියා සිටිති.

සංවර්ධනයවන මාර්ගයේ කානු පද්ධතිය අම්බලම මැදිවන ලෙස යොදා අම්බලම ආසන්නයෙන් නවතා ඇති බව ද ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

අම්බලමේ ඉදිරිපස කනුවට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කල විමසීමේ දී එම නිලධාරින් කියා සිටියේ පුරා විද්‍යාත්මක සාධක වලට හානි සිදුකිරිමේ චෝදනාව යටතේ අදාල සමාගමට එරෙහිව නාඋල පොලිසියට පැමිණිලි කරන බවත් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.