පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළුවලට ඔබේ සහය අවැසි මොහොතක්

April 11, 2019   03:30 pm

කුඩා දරුවන් සිව් දෙනෙකු සමඟ ආර්ථික අපහසුතා මැද ජීවිතය ගත කරන ආණමඩුව ගල්ලෑව ගම්මානයේ මව්පිය යුවලක් අද දෙරණ කැමරා කාචයේ මෙලෙස සනිටුහන් වුයේ ඔවුන්ගේ අසරණකම නිසාවෙනි.

තවත් නොබෝ දිනකින් උදාවෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇතැමුන් ලක්ෂ ගණනින් මුදල් වැය කරද්දි මොවුන් එක් වේලක් හෝ පිරිමසා ගැනීමට තරම් වත්කමක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබේ.

දෛනික කුලි වැඩවල නිරත වෙමින් මෙම මව හා පියා මේ මොහොතෙත් ඔවුන්ට ලැබේන සොච්චම් වැටුපෙන් එදා වේල පිරිමසා ගැනීමට වෙර දරයි.

කටු මැටි ගැසු කුඩා නිවස තුළ කිසිදු පහසුකමක් නොමැතිව ජීවිතය පමණක්ම දෝතින් දරා ගෙන හුස්ම ගන්න මේ පොඩි පැටවුන්ට අඩුම තරමින් ඉද ගැනීමට පුටුවක් හෝ නොමැත.

මිනිසුන් දරුවන් හැර යන අද වන් කාලයක මෙම මව්පියන් දරුවන් රකින්න බොහෝ දුක් විදින බව නම් නොරහසකි.

මෙම දරුවන් අතරින් වැඩිමල් දරුවා මේ වන විට ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර දරුවන් දෙදෙනෙකු, තල්ගස්වැව විමලරත්න කුමාරගම විද්‍යාලයට දිනපතා සැතපුම් දෙකක පමණ දුරක් පා ගමනින්ම පැමිණ අධ්‍යාපනය හදාරයි.

ආර්ථික අපහසුතා කෙතෙකුත් තිබුණද දෛනිකව දරුවන් පාසල් යැවිමට මේ මව්පියන් දැඩි පරිශ්‍රමයක් නිරත වන බව ද අසල්වැසියන් ද පවසන්නේ බොහෝ කණස්සල්ලෙනි.

ඔවුන් ද මෙම දරුපවුල රැක ගැනීමට හැකි සෑම අවස්ථාවකම පිහිට වුවත්, එවැනි කටයුත්තක් දිගින් දිගටම සිදු කිරීම ඉතා අපහසු වී තිබේ.

අද දෙරණ සමඟ අදහස් දක්වමින් මෙම නිවසේ සිටින පියා අපට පවසා සිටියේ, වෙනත් දරුවන් ඉල්ලන කිසිවක් මොවුන් සිව්දෙනා ඉල්ලන්නේ නැති බවත්, ඔවුන්ගේ එම යහපත් හැසීරීම ඉවසා ගැනීමේ දී ඉතා බලවත් දුකක් ඇති වන බවත්ය.

මේ මව සහ පියාගේ එකම බලාපොරොත්තුව වන්නේ තමන්ගේ දරුවන් සිව්දෙනාට හොඳින් උගන්වා, සමාජයේ යහපත් පුද්ගලයින් කිරීමයි.

මොවුන් දැනට ජීවත් වන නිවසට විදුලිබල මණ්ඩලය මඟින් ණය පදනම මත විදුලිය ලබා දී ඇති අතර, එහි වාරික ගෙවා දමා නොමැති වීමෙන් අද වන විට විදුලිය කප්පාදු කර තිබේ.

කුප්පි ලාම්පු එළියෙන් අකුරු කරමින් මෙලොව ජය ගැනීමට වෙර දරන මෙම පුංචි මල් කැකුළුවල අනාගත හෙට දවස වඩාත් සාර්ථක කර ගැනීමට ඔබටත් එක්විය හැකියි.

ඔබට හැකි අයුරින් ඔබට පිහිට විය හැකි අතර ඒ සඳහා දරුවන්ගේ පිය වන අනුර නිශ්ශංක මහතාට පහත දුරකථනයට ඇමතිය හැකියි.

දුරකථන අංකය - 0770385543