විදුලි අර්බුදය තවත් උග්‍ර වන ලකුණු? 

විදුලි අර්බුදය තවත් උග්‍ර වන ලකුණු? 

March 26, 2019   07:24 pm

2014 න් පසුව අලුතින් විදුලි උත්පාදනය කිරීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමේ පාප කර්මයට තමන්ට මුහුණ දීමට සිදුව ඇති බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසය අවසන් වන විට වැසි නොලැබුණහොත් විදුලි අර්බුදය තවත් උග්‍ර වන බවයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ සියල්ලෙහිම වරින්වර සිදුවන විදුලි කප්පාදුව සියලු දෙනාගේම කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.

මෙරට දෛනික උපරිම විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2600ක් වුවත් ඉන් ජාතික විදුලි පද්ධතියට මේ වනවිට සපයනු ලබන්නේ මෙගාවොට් 2260 ක උපරිමයක් පමණයි.

එලෙස සැපයෙන විදුලියෙන් මෙගාවොට් 500ක පමණ ප්‍රමාණයක් ජල විදුලියෙන් උත්පාදනය කරයි.

ඉතිරි මෙගාවොට් 1760ක ප්‍රමාණය සපුරා ගන්නේ ඩීසල්, දැවිතෙල් හා ගල් අඟුරු ඇතුළු තාප විදුලියෙනි.

මෙලෙස මෙගාවොට් 340ක හිඟයක් සහ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සීග්‍රෙයන් පහළ බැස ඇති පසුබිමක මෙරට විදුලි අවශ්‍යතාව තවදුරටත් සපුරාලීමට විදුලිබල මණ්ඩලයට හැකිවේවිද ?

පවතින වියළි කාලගුණයත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ රැසක ජල ධාරිතාවය 30% ටත් වඩා පහළ බැස තිබේ.

ඒ අනූව කාසල්රි ජලාශයේ ජල ධාරිතාවය 9.8% දක්වා පහළ බැස ඇති අතර එම ජලාශය ආශ්‍රිත විමලසුරේන්ද්‍ර, පැරණි ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය විදුලි බලාගාර වල විදුලි උත්පාදන මෙගා වොට් 378.5 සිට මෙගා වොට් 168 දක්වා පහළ බැස තිබේ.

සමනල වැව ජලාශයේ ධාරිතාවයද මේ වන විට 18.2% දක්වා පහළ බැස ඇති අතර එහි විදුලි බලාගාරයෙන් මෙගා වොට් 120ක් උත්පාදනය කළ හැකි වුවත් මේ වන විට උත්පාදනය කෙරෙන්නේ මෙගා වොට් 40ක් පමණයි.

33% දක්වා ධාරිතාවය පහළ ගොස් ඇති කොත්මලේ ජලාශයෙන් ක්‍රියාත්මක මෙගාවොට් 201ක් උත්පාදනය කළ හැකි  කොත්මලේ බලාගාරයේ විදුලි උත්පාදනය ඊයේ රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම නැවතී තිබුණි.

එමෙන්ම මෙගා වොට් 150ක් නිෂ්පාදනය කළ හැකි ඉහළ කොත්මලේ බලාගාරයෙන් මේ වන විට නිෂ්පාදනය කෙරෙන්නේ මෙගා වොට් 50ක් පමණයි.

වික්ටෝරියා ජලාශයේ ධාරිතාවයද 36.3% දක්වා පහළ ගොස් ඇති පසුබිමක මෙගා වොට් 195ක් උත්පාදනය කළ හැකි වික්ටෝරියා විදුලි බලාගාරයෙන් මේ වන විට උත්පාදනය කෙරෙන්නේ මෙගා වොට් 47යි.

කෙසේ වෙතත් රන්දෙණිගල ජලාශයේ 88.1%ක ජල ධාරිතාවයක් අද පෙරවරුව වන විට පැවතුණද, මෙගා වොට් 116ක් ජාතික විදුලි බලපද්ධතියට එක්කළ හැකි රන්දෙණිගල බලාගාරයේ විදුලි ජනන කටයුතු සිදුකෙරෙන්නේ රාත්‍රි කාලයේ පමණයි.

පවතින ජල ගැටලුවත් සමඟ රන්ටැඹේ, උකුවෙල කුකුළේ ගඟ විදුලි බලාගාර වලින් විදුලි උත්පාදනයද රාත්‍රි කාලයට පමණක් සීමා කර තිබේ.

එමෙන්ම ඉඟිනියාගල ජල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද ඊයේ රාත්‍රි වන විට නවතා දමා තිබුණි.

මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියත් කළ වැඩසටහනද මේ වන විට තාවකාලිකව නවතා දමා තිබේ.

මෙවන් පසුබිමක අප්‍රේල් මාසය අවසන් වන විට දිවයිනට වර්ෂාව නොලැබුණහොත් පවතින විදුලි අර්බුදය තවත් උග්‍ර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙයි.