කැනඩාවේ දී පදික වේදිකාවක් මතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය අය අතර ලාංකීක කාන්තාවක්

කැනඩාවේ දී පදික වේදිකාවක් මතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය අය අතර ලාංකීක කාන්තාවක්

April 25, 2018   08:47 am

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය අය අතර ශ්‍රී ලාංකීක කාන්තාවක් ද සිටින බව අනාවරණය වී තිබේ.

ඇය නමින් රේණුකා අමරසිංහ නැමැති වයස අවුරුදු 48 ක් පමණ ශ්‍රී ලාංකික කාන්තාවක් බව අද දෙරණට වාර්තා වී ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන්  කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය අහංගම රතනසිරි හිමියන්ගෙන් අප විමසීමක් සිදු කළ අතර උන්වහන්සේ කියා සිටියේ, ඇය ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන බවයි.

වයස අවුරුදු 7ක පමණ කුඩා දරුවෙකු සිටින මෙම කාන්තාව තනියම රැකියාවක් කරමින් දරුවා හදාවඩා ගෙන ඇති බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.

දරුවා ඉපදීමට සිටින විටදීම ස්වාමි පුරුෂයා ඇය අත්හැර ඇති බවත් වසර 15 ක පමණ කාලයක් පුරා මෙම කාන්තාව කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථානය සමඟ සම්බන්ධතා පැවැත් වු බවත් රතනසිරි හිමියන් සඳහන් කරයි.

ඇය මේ වන විට කැනඩාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බවත් එනිසා අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන ආකාරය පිළිබඳ දායක සභාව සමඟ සාකච්ඡා කළ බවත් උන්වහන්සේ පැවසීය.

ඉතා ධෛර්යවන්ත කාන්තාවක් වු ඇයගේ කුඩා දරුවාගේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ඉටු කළ යුතු වැඩ පිළිවෙල ගැනද අවධානයට ලක් කළ ඇති අතර ඒ පිළිබඳ කළ හැකි සියලු දේ කිරීමට විහාරස්ථානය කටයුතු කරන බව ද උන්වහන්සේ සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් හඳුනා ගැනීම අසීරු වී ඇති බවත් මේ වන විටත් මළ සිරුර භාර දීම කර නොමැති බවත් රතනසිරි හිමියන් පැවසීය.

ලංකාවට පැමිණ සිය මව හා සහෝදරයන් ද හමුවී නැවතත් කැනඩාවට පැමිණ සතියක් වැනි ඉතා කෙටි කාලයකින් ඇය මෙම අනතුරට මුහුණ දී තිබේ.

අනතුර සම්බන්ධයෙන් කැනඩා රජය සිය ශෝකය පළ කළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.