
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ.
මැයි මස 18 වන දින එම ලිපි ලේඛනවලට අත්සන් තැබූ බව ජනාධිපති ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඊයේ(19) කටාර් රාජ්‍යයේ සංචාරයට පිටත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද අදාළ ලිපි ලේඛන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා වෙත ලබාදී ඇති බව ද බන්දුල ජයසේකර මහතා සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා විසින් අදාළ ලිපිලේඛන හෙට(21) දිනයේ අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකිරීමට නියමිත බව ද ජනාධිපති ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා අද දෙරණට අනාවරණය කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(19) රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේන් කටාර් රාජ්‍යය බලා පිටත්වී තිබේ.
කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්තානි මහතා විසින් කරන ලද විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වේ.
දෝහා සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී වන ජනාධිපතිවරයා එහිදී විශේෂ දේශනයක් සිදුකිරීමට ද නියමිතය.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද සහභාගී වී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිසගේ මෙම සංචාරය ලබන 22 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.
සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡා පසුගිය සතියේ නිමාවට පත්විය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊට අදාළ සාකච්ඡාවල නිරත විය.
එමෙන්ම සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය ද මැයි මස 16 වන දින ටිරාන් අලස් මන්ත්‍රීවරයා සමග ජනාධිපතිවරයා හමුවිය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මැයි 18 වන දින ඇප මත මුදාහරිනු ලැබීය.
















































































