කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් තුළම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක්

කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් තුළම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක්

May 8, 2021   06:47 pm


රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ රෝගී සත්කාර සේවා පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බවය.

"නිවෙස්වල රෝගීන් යම්කිසි ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන් උග්‍ර රෝග ලක්ෂණ නොමැති රෝගීන්. ඔවුන්ට රෝහල්වල පහසුකම් ලබාදීම සඳහා අපි කඩිනමින් කටයුතු යොදාගෙන යනවා. ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය වුණොත් විශේෂ රෝග ලක්ෂණ නොමැති ආබාධවලින් පෙළෙන්නේ නැති රෝගීන්ට දිගටම නිවසේ සිට ප්‍රතිකාර ලබාගන්නත් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් පමණක් රෝහලකට පැමිණෙන්න පුළුවන් ද කියන කාරණය පිළිබඳව අපි මේ වෙනකොට සලකා බලමින් යනවා. ගැබිණි මව්වරුන්ට සුදුසු එන්නතක් ගැනත් අපි සාකච්ඡා කරමින් යනවා."

මේ අතර මෙරට සියලු වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරන ආයතන එක්ව කොවිඩ් -19 වසංගතය පැතිර යෑමේ වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව එක්ව ලිඛිතව මෙම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කොවිඩ් වසංගතය පැතිර යෑම පාලනය කිරීම සඳහා නිර්දේශ 7 ක් පිළිබඳව ඔවුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර ඇත.

එහි දැක්වෙන්නේ,

කොවිඩ් පාලනය කිරීම සඳහා රජයේ අතිවිශෙෂ ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි දැඩි අධීක්ෂණයක් යටතේ අකුරටම ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සංචරණයට දැඩි සීමා පැනවීම

ආසාදිත පුද්ගල ඝණත්වය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි මත පමණක් පදනම්ව ඇතැම් ප්‍රදේශ අගුලු දැමීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යෑම පෙන්වාදෙන අවස්ථාවල දිස්ත්‍රික් අතර ජනතා සංචරණය සීමා කිරීම, එම නිර්දේශවලට ඇතුලත්ය.

තවද,

සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ සමීප සහ දැඩි අධීක්ෂණය යටතේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් සිය නිවෙස්වලම හුදකලා කිරීම.

එම පවුල්වල සාමාජිකයින් නිවසේදීම නිරෝධායනය කිරීම.

ඇඳන්, ඔක්සිජන්, දැඩි සත්කාර ඒකක පහසුකම් ආදිය ප්‍රමාණවත් ලෙස සකසමින් ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් කිරීම.

පී.සී.ආර් පරීක්ෂණ සහිතව කොවිඩ් -19 රෝග නිවාරණය සඳහා දිවයින පුරා රසායනාගාර සේවා ශක්තිමත් කිරීම.  යන කරුණු ද අදාල වෛද්‍ය වෘත්තිකයින් විසින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම, හැකි ඉක්මණින් රට පුරා ප්‍රමාණවත් ආවරණයකින් යුක්තව නිසි එන්නත්කරණ ක්‍රියාවලියක් දියත් කිරීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.

වහාම මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවුණහොත් නුදුරු අනාගතයේදීම පොදු ජනතාව වඩාත් බරපතළ හා කල්පවත්නා දුෂ්කරතාවලට ලක්වීමට සිදුවනු ඇති බවටද වෛද්‍ය වෘත්තිකයින් විසින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.