ගුවන් හමුදා යානය කඩා වැටී 4ක් ජීවිතක්ෂයට

ගුවන් හමුදා යානය කඩා වැටී 4ක් ජීවිතක්ෂයට

January 3, 2020   10:35 am

අද(03) හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීමෙන් සිව්දෙනකු මිය ගොස් තිබේ. 

ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, අනතුරින් මියගියේ නියමුවන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනකු බවයි. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අද උදෑසන ගුවන් ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්.

මෙම යානය ආවේක්ෂණ රාජකාරි සඳහා පිටත්ව තිබු යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

කෙසේ වෙතත්, පෙරවරු 9.15 ට පමණ යානය  හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයේදී අනතුරට ලක් විය.

එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට තිබේ.

ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වන විට ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරට පත්වු කාන්තාවක් ද හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.