ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

December 17, 2019   01:50 pm

නීතීයේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ බව පවසා ඇත්තේ ස්විස් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් නිවේදයක් නිකුත් කරමින්ය.

සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සහ රජය කෙරෙහි අපකීර්තියක් ඇතිවන අකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට පත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති  කාර්ය මණ්ඩල සාමාජිකාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ නීතීයේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවයි.

සිදුවීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති අතර තම තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධයෙන් සිදුවන ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඇයගේ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ස්විට්සර්ලන්ත රජයේ නිවේදනයේ සඳහන් වෙයි.

මෙම සිදුවීමට මුහුණපා සිටින සිය සේවිකාවට හැකි උපරිම සහය ලබාදීමේ වගකීම ඉටුකිරීමට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරියටත් කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටි තම කාර්ය මණ්ඩල සාමාජිකාවගෙන් දින තුනක් මුළුල්ලේ පැය 30කට අධික කාලයක් ප්‍රශ්න කිරීමද විවේචනයට ලක්කර ඇති ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විමර්ශන අවසන් වීමට පෙර ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් ඇයගේ විශ්වසනීයභාවය ප්‍රශ්න කිරීමද විවේචනයට ලක්කර තිබේ.

එමෙන්ම දෙපාර්ශ්වයටම පිළිගත හැකි , අර්ථසම්පන්න ක්‍රමවේදයකින් මෙම සිදුවීම විසඳීම සඳහා මාර්ගයක් සොයාගත යුතු බවට මෙරට ස්විස්ටර්ලන්ත තානාපතිවරයා හරහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සන්නිවේදනය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

කෙසේවෙතත් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ තම කාර්ය මණ්ඩල සාමාජිකාවක් පැහැරගැනීමට ලක්ව ඇති බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකර තිබූ පැමිණිල්ලකින් පසුවයි.

මෙම පැමිණිල්ල ජාත්‍යන්තර මාධ්‍යෙය්ද දැඩි අවධානයක් දිනාගත් අතර මූලික විමර්ශන සඳහා ස්විස් තානාපති කාර්යාලය සිදුවීමට මුහුණදුන් බව පැවසෙන තැනැත්තියගේ නම පවා අණාවරණ කිරීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත් විමර්ශනවලින් ඇයගේ අන්‍යන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසු ලබාගත් අධිකරණ නියෝගයකට අනුව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති  කාර්ය මණ්ඩල සාමාජිකාවගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ දින කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේය.

අධිකරණ නියෝග මත ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය හමුවටද ඉදිරිපත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී තිබුණේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකදී භාවිත කිරීමේ අරමුණින් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා යටතේය.

නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද උපදෙස්වල වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ කාන්තාව ප්‍රකාශ කරන ආකාරයට ඇයව පැහැරගැනීමකට,පහරදීමකට හෝ ලිංගික අතවර කිරීමකට හෝ ලක්වූ බවක් මෙතෙක් ඉදිරිපත් වූ කිසිදු සාක්ෂියක් මගින් අනාවරණය නොවන බවයි.

ඒ අනුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදීම ඊයේ පස්වරුවේ අත්අඩංගුවට පත්වූ අතර ඇයව පස්වරු 5.00 ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී අධිකරණ හමුවේ කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ තානාපති  කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකළ පැමිණිල්ලේ සිද්ධියට අදාළව වාර්තා කර තිබූ බොහෝ කරුණු සාවද්‍ය බව සැකකාර තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇති  බවයි.

තමාව පැහැරගත් පිරිස සිදුකළ බලපෑම් හේතුවෙන් තමා සිද්ධිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු තානාපති කාර්යාලයට ලබාදුන් බව ඇය පවසා තිබූ අතර සත්‍යය ලෙස තමාට මෙම හිරිහැර සිදුවුණේ පැල්මයිරා පෙදෙසේ නිවාස සංකීර්ණයක් තුළ බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කර තිබුණි.

නමුත් අදාළ නිවාස සංකීර්ණයේ සී.සී.ටී.වී දර්ශන සහ සෙසු  පරිවේශනීය සාක්ෂිවලට අනුව කාන්තාව දෙවන වරට ප්‍රකාශ කරන සිදුවීම් මාලාවේද සත්‍යතාවයක් නොමැති බව තහවුරු වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙලෙස ගොතන ලද කතාවක් නිර්මාණය කර ඉදිරිපත් කළේ කුමන අරමුණකින්ද යන්න සහ ඇයගේ උත්සහය පිටුපස බාහිර පාර්ශ්වයක් සිටීද යන්න විමර්ශනය කළ යුතුව ඇති බැවින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතීපතිවරයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ අදාළ කාන්තාව දෙසැම්බර් මස 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.