කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨ වසා දමයි
May 30, 2019 09:50 am
කැළණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ යළි දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කර ඇත.
අද (30) පෙරවරු 10 සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට පියවර ගෙන ඇති අතර සියලුම අභ්‍යන්තර සිසුන්ට නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව කැළණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පැවසුවේය.
රට තුළ පැවැති ආරක්ෂක තත්ත්වයත් සමඟ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි අරම්භ කිරිමේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.
ඒ අනුව විශේෂ ආරක්ෂක පියවරක් ලෙස රාත්‍රී 09ට විශ්වවිද්‍යාලයේ සියලුම ශාලා, මධ්‍යස්ථාන, ආපනශාලා වසා තැබීමට තීරණය කෙරුණද සිසුන් පිරිසක් ඊට එරෙහිව එම කටයුතුවලට බාධා වන ආකාරයෙන් හැසිරී ඇති බව විජයානන්ද රූපසිංහ මහතා පැවසුවේය.
ඒ අනුව බහුතර සිසුන්ගේ මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ තවකාලිකව වසා දැමීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.
