පාකිස්තානයට තියුණු ජයක්
November 11, 2025 11:55 pm
වනිඳු හසරංගගේ හුදෙකලා ඉනිම අපතේ යවමින් පාකිස්තානය සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 6කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11) සිදුවුණි.
පාකිස්තානය ලද මේ ජයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ඔවුන් පෙරමුණ ගත්තේය.
පාකිස්තානයේ රාවල්පින්ඩි හී පැවති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඊයේ තරගයේදී කමිල් මිෂාර එක්දින වරම් දිනාගත්තේ මෙරට 218වැනි එක්දින ක්‍රීඩකයා ලෙසයි.
පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 14ක් ලෙස දිස්වෙද්දී පළමු කඩුල්ල ලෙස සයිම් අයුබ් ලකුණු 6කට දවා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් විය.
පාකිස්තා මුල් කඩුලු 4 ලකුණු 95ක් තුල දැවී ගියත් 5වැනි කඩුල්ලට ලකුණු 138 සබඳතාවක් ගොඩ නගන්නට සල්මන් අගා සහ හුසේන් තලාත් සමත් විය.
එම සබඳතාව බිඳ වැටුණේ හුසේන් තලාත් ලකුණු 62කට දැවී යාමත් සමඟයි.
ඒ අතර වාරයේදී සිය එක්දින දිවියේ දෙවැනි ශතකය රැස්කිරීමට සල්මන් අගා සමත් වුණි.
6 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 66ක සබඳතාවක් එක්කල සල්මන් අගා සහ මොහොමඩ් නවාස් පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 300 සීමාව කරා රැගෙන ගියේය.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 299ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සල්මන් අගා නොදැවී ලකුණු 105යි.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.
ලකුණු 300ක ලකුණු පුවරුවක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාරයි.
ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 85ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක අරම්භයක් ගෙන දුනි.
කෙසේ වෙතත් එම සබඳතාව බිඳවැටුණේ කමිල් මිෂාර ලකුණු 38කට දැවී යාමත් සමඟයි.
ඉන් නොනැවුතුණු හැරිස් රවුෆ් කුසල් මෙන්ඩිස්ව ලකුණු නොලබා නැවත විවේකාගාරය වෙත හරවා යවන්නට සමත් වුණි.
පැතුම් නිස්සංක ලකුණු 29යි.
නමුත් සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනගමින් තරගයේ ජය දෙපිළටම දෝලනය කළේය.
නමුත් සදීර සමරවික්‍රම ලකුණු 39කට සහ නායක චරිත් අසලංකව ලකුණු 32කට දවා ගනිමින් තරගයේ ජය තමන් දෙසට හරවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණි.
නමුත් ලෙහෙසියෙන් සටන අත්හැරීමට අකමැති වු වනිදු හසරංග එක් අන්තයක සිට හුදෙකලා සටනක නිරතවෙමින් ලකුණු 59ක් ලබා ගත්තේය
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 294කට සීමා වුණි.
