95වන සුලෝහිත සංග්‍රාමය අද 

95වන සුලෝහිත සංග්‍රාමය අද 

February 28, 2025   10:57 am

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකළ දිවයිනේ ප්‍රධානම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද හා නාලන්දා විදුහල් අතර 95වන වරට පැවැත්වෙන 'සුලෝහිත සංග්‍රාමය' මහා ක්‍රිකට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද (28) ආරම්භ විය.

ඉතිහාසයේ පළමුවරට තුන්දින තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය මාර්තු 2වනදා දක්වා පැවැත්වේ.

දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම තරගය 1924 වර්ෂයේදී ආරම්භ වූවක් වන අතර, මෙය ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වේ.

අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, අවිශ්ක ගුණවර්ධන, බ්‍රෙන්ඩන් කුරුප්පු, චන්දික හතුරුසිංහ, මාවන් අතපත්තු, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, සචිත්‍ර සේනානායක, තිළිණ කන්ඩම්බි, මහේල උඩවත්ත වැනි ක්‍රීඩකයන් රැසක් ආනන්ද විදුහලෙන් ජාතික කණ්ඩායමට බිහිකර ඇත.

ඊට නොදෙවෙනි ලෙස නාලන්දා විදුහලද මහේල ජයවර්ධන, බන්දුල වර්ණපුර, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුමාර ධර්ම‍සේන, ඩිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියන්ජන් වැනි ක්‍රීඩකයන් රැසක් ජාතික කණ්ඩායමට දායාද කර තිබේ.

දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති තරග අතරින් තරග 12ක ජය ආනන්ද විදුහල සතුවී ඇති අතර, තරග 07ක ජය නාලන්දා විදුහල සතුවී තිබේ. 

සෙසු සියලුම තරග ජය පැරදුමෙන් තොරව අවසන්ව ඇත.