දකුණු අප්රිකානු වේග පන්දුවට ශ්රී ලංකාව අසරණ වෙයි
November 29, 2024 09:40 pm
ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනයට අද (29) තරගය නතර කරන විට සිය දෙවනි ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 103ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ඔවුන් දකුණු අප්රිකානු කණ්ඩායම ලබාදුන් ලකුණු 516ක දැවැන්ත ඉලක්කයට තවත් ලකුණු 413ක් පිටුපසින් සිටියි.
කෙසේ නමුත් ඒ වෙනුවෙන් ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ කඩුලු 5ක් පමණි.
තරගය නතර කරන විට කඩුල්ලේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් පන්දු 62ක මුහුණ දී ලකුණු 39ක් රැස් කරගෙන සිටි අතර, එක් පන්දුවකට පමණක් මුහුණ දී සිටි නායක ධනංජය ද සිල්වාට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලැබී නොතිබුණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 191ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 42ක් පමණි.
ඒ හේතුවෙන් ලකුණු 149ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවනි ඉනිම ආරම්භ කිරීමට දකුණු අප්රිකානු කණ්ඩායමට අවස්ථාව උදාවිය.
ඒ අනුව ඔවුන් සිය දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 366ක් රැස්කර ඉනිම අත්හිටවා, ශ්රී ලංකාවට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය.