
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විරුද්ධ පාක්ෂික අපේක්ෂකයා ද වූ සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීම සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක් පවත්වමින් සාකච්ඡා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම දුරකථන සංවාදයේදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව විමසා බැලීමට එක්සත් ජාතින්ගේ දේශපාලන අංශ ප්‍රධානී ලින් ෆැස්කෝ මහතා ශ්‍රී ලංකාවට එවන බවටද මූන් මහතා ජනාධිපතිවරයා වෙත පොරොන්දු වී තිබුණි. හිටපු මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනෙක යුධ හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ හමුදා නිල ඇඳුමෙහි සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණ කිරීම සම්බන්ධ චෝදනා යටතේය.
එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන සංවර්ධනය පිළිබඳව ද සිය අවධානය යොමුකරන බව මූන් මහතා ජනාධිපතිවරයාට සදහන් කර ඇත. සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතියට අනුගතව කටයුතු කරන ලෙසත්, ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමකින් යුතුව විමසා බලන ලෙසත් මහ ලේකම්වරයා මහින්ද රාජපක්ෂ මහතා වෙත අවධාරණය කර ඇත. එමෙන්ම උතුරේ ද්‍රවිඩ ජනතාවට බලපැවැත්වෙන සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම යන කරුණු පිළිබඳව ද බැංකි මූන් මහතා මෙහිදී අවධානය යොමු කර ඇත.

















































