නගර සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයෙක් පස් කන්දකට යට වෙයි

නගර සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයෙක් පස් කන්දකට යට වෙයි

July 31, 2026   01:32 pm

​මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ මාර්ගය සකසමින් සිටියදී කම්කරුවෙකු මත පස් කන්දක් කඩා වැටී තිබේ. 

ඉන් බරපතළ තුවාල ලැබූ ඔහු අද (31) දහවල් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. ​

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ හේවාහැට, මුල්ඔය ජනපදයේ පදිංචිව සිටි 43 හැවිරිදි තිදරු පියෙකි. ​

අද දහවල් 11.00ට පමණ විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ස්ථානයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියදී, අඩි 20 ක් පමණ උසැති පස් කන්දක් එකවරම මොහු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ​

අනතුරින් පසු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ සේවකයින් විසින් පස් අතර සිරවී සිටි ඔහුව මුදාගෙන මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ​

රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු ඉතා බරපතළ තත්ත්වයේ පසු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ප්‍රදේශයේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.