මේ වසරේ මුල් මාස හයට ළමා අපයෝජන පැමිණිලි 5,523ක්
July 23, 2026 12:53 pm
2015 - 2025 දක්වා ගත වූ වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකරියට පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද පැනයකට අද (23) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමිනි.
මේ වසරේ අප්‍රේල් මස 30 වෙනිදා වනවිට මහාධිකරණයේ ළමා අපයෝජන සම්බන්ධයෙන් නඩු 4421ක් විභාග වෙමින් පවතින අතර සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු ඇති බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා පොලිස් කොට්ඨාස ළමා හා ආරක්ෂණ කාර්යාංශ 47 සම්බන්ධීකරණය කරගනිමින් නඩු නියාමන කටයුතු සිදු කරනු ලබයි.
එමෙන්ම වින්දිත දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමේ ඉදිරි පියවරක් ලෙස ළමුන් අධිකරණය වෙත ඉදිරිපත් නොකර කිසිදු බලපෑමකින් තොරව පරිසරයක් තුළ වීඩියෝ සාක්ෂි පටිගත කරමින් අධිකරණයට යොමු කිරීමට කටයුතු කරන බව සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
ඒ අනුව පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීම ඒකක නවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සුදුසු ස්ථාන හඳුනාගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්රමුඛ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන්ය.
මේ අතර මේ වසරේ ගත වු මුල් මාස 06 තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසීය.
ජනවාරි පළමු දින සිට ජුනි 30 දක්වා කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 5,523ලැබී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේය.
ඒ අතර ළමුන් කෘරත්වයේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 1100ක් ලැබී තිබේ.
බරපතල ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 60, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 213ක්, ළමුන් නීත්‍යානුකූල භාවයෙන් අපහරණය කිරීම සම්බන්ධ පැමිණිලි 99ක්, ළමුන් සිගමනේ යෙදවීම් පැමිණිලි 100ක් සහ ළමා ශ්‍රමිකත්වය පිළිබද පැමිණිලි 82ක් ලැබී ඇති බව සඳහන්ය.
එමෙන්ම යොවුන් වියේ ගැබ් ගැනීම් පිළිබඳ පැමිණිලි 40ක් සහ ළමා විවාහ සම්බන්ධයේන පැමිණිලි 5ක් ද මේ වසරේ පළමු මාස 6 තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇත.
ළමයින්ට එරෙහිව සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 112ක් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 13ක් ද ලැබී ඇති බවයි ජාතික ළම ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.
