විශ්වවිද්‍යාල තුළ ඩෙංගු මර්දනයට මාර්ගෝපදේශයක් එළිදක්වයි
July 20, 2026 09:30 pm
සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශය එළිදැක්වීම අද (20) සිදු කර තිබේ.
ඒ, ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වාදීම සහ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වූ ජාතික කර්තව්‍යයට විශ්වවිද්‍යාල ප්‍රජාවේ සහය ලබාගැනීම අරමුණු කරගෙනය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ සම්පත් දායකත්වය ද ඒ සඳහා හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
මේ වන විටත් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන ආයතනයන් සඳහා ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ ආසාදිත තත්ත්වයකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් ඇති බව එම අවස්ථාවට එක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.
නගර ආශ්රිත විශ්වවිද්‍යාල සහ ශිෂ්‍ය නේවාසිකාගාර අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය පොකුරු වශයෙන් ඇතිවීමට වැඩි සම්භාවිතාවක් පවතින බව ඔහු කීය.
එම තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මූලික කරගනිමින් සැදූ මෙම ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශ සංග්‍රහය උපකාරයක් වනු ඇත.
තවද මෙය විශ්වවිද්‍යාලවලට පමණක් තනිව ජයගතහැකි අභියෝගයක් නොවන බැවින්, බාහිර සමාජයේ සහ සෞඛ්‍ය අංශයන්හි සහය මේ සඳහා ලබාදිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හරහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවට ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ රෝගී තත්ත්වයකදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ග සම්බන්ධව මනා අවබෝධයක් ලබාදිය හැකි බවය.
එමෙන්ම ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් වූ ජාතික වැඩසටහන්වලට විශ්වවිද්‍යාල සිසුන්ගේ සහය ලබාගැනීමද මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හරහා සිදුකළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ආරම්භ කර ඇති බවත්, විශ්වවිද්‍යාලය තුළ ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය ඔස්සේ ඩෙංගු රෝගී ලක්ෂණ පෙන්වන සිසුන් නිසි අධීක්ෂණයකට ලක් කර, ඔවුන්ට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර සඳහා යොමුකිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් එතුමා වැඩිදුරත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
