වී අලෙවි මණ්ඩලය දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි 

වී අලෙවි මණ්ඩලය දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි 

July 19, 2026   09:54 am

යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග මේ වන විට වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.

ඒ අනුව පසුගිය 13 වැනිදා සිට 17 වැනි දින දක්වා වූ දින 4ක කාලයක් තුළ මෙම වී තොගය මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මේ වන විට විශාලතම වී අස්වැන්න අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය.

මීට අමතරව මුලතිව්, කිලිනොච්චි, වව්නියා යන දිස්ත්‍රික්කවලින් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද වැඩි වී තොග ප්‍රමාණයක් මිලදී ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පසුගිය 13 වැනිදා ආරම්භ කෙරුණු අතර වී අලෙවි මණ්ඩලය පැවසුවේ වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් සිදු කරන බවය.

ඒ අනුව වී මිලදී ගනු ලබන මිල ගණන්ද පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී නාඩු කිලෝ එකක් සඳහා රුපියල් 120, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 140ක් යන මුදලකට වී මිලදී ගැනීම් සිදු කිරීමට තීරණය කෙරිණි.

එම මිල ගණන් යටතේ ස්ථාන 143ක වී ගබඩා තුළ වී මිලදී ගැනීම් මේ වන විටත් සිදුවෙමින් පවතින බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.