පාපන්දු තරගයකදී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් 

පාපන්දු තරගයකදී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් 

July 12, 2026   08:31 am

'හැටන් ලීග් නගරාධිපති කුසලාන' පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක් අතරතුර ගැටුමක් හටගෙන තිබේ. 

ඒ, යංග් මේට්ස් සහ නෝර්වුඩ් සන්රයිස්ස කණ්ඩායම් දෙක අතර ඊයේ (11) හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතරතුරදීය. 

තරගය නිමාවීමට මිනිත්තු 07ක් ඉතිරිව තිබියදී මෙම ගැටුම ආරම්භවූ බව සඳහන්ය. 

ඒ වන විට හැටන් යංග් මේට්ස් කණ්ඩායම ගෝල තුනක් ද නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම එක් ගෝලයක් ද ලබා සිට ඇත. 

තරගයේ උණුසුමත් සමඟ පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයට පිවිස ගුටිබැට හුවමාරුවකට මැදිවී තිබේ.

ගැටුම සම්බන්ධයෙන් හැටන් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරින් ක්‍රීඩාංගණයට පැමිණ තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගෙන ඇත. 

ඉන් අනතුරුව පවතින තත්ත්වය හමුවේ ඉතිරි මිනිත්තු 7ක කාලය වෙනත් ක්‍රීඩාංගණයකදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට  නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් සිදු කළ බව සඳහන්ය. 

ඒ අනුව මේ පිළිබඳව තරග සංවිධායකයින් විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.