ඩෙංගු මර්දන ජාතික මෙහෙයුම පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක්
June 23, 2026 03:39 pm
සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (23) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ දැනුවත්භාවය සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවය.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටි කාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සහිත වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
නිවාස පරිශ්‍ර මෙන්ම රාජ්‍ය ආයතන, කර්මාන්තශාලා සහ වැඩබිම් ආශ්‍රිතවද ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින බැවින් පරිසරය පිරිසිදුව තබා ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු බවද අවධාරණය කෙරිණි.
ඩෙංගු ව්‍යාප්තිය, අවදානම් තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.
ජනතාව දැනුවත් කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීමට පෙළඹවීම මෙම අවස්ථාවේ වැදගත්ම පියවරක් බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා, ඒ සඳහා සියලු මාධ්‍ය ආයතනවල සහාය අපේක්ෂා කරන බවද පැවසීය.
