රේගුවට කඩදාසි එපා වෙයි 

රේගුවට කඩදාසි එපා වෙයි 

June 19, 2026   05:47 pm

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ සංවිධාන, ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වවල නියෝජිතයන් අතර හමුවක් අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකා රේගුවේ Paperless Document Processing වැඩසටහන වේගවත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ආනයනකරුවන්, අපනයනකරුවන් සහ රේගු නිෂ්කාශන නියෝජිතයන් රේගු සටහන් කර සහ අදාළ ලේඛන කඩදාසි භාවිතයෙන් තොරව, විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා යොමු කිරීමත්, ඒ පිළිබඳ දැනුවත් කිරීමත් මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා රේගුව විසින් රේගු සටහන්කර සහ ලේඛන මාර්ගගතව භාර ගනු ලැබීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බැවින් ව්‍යාපාරික ප්‍රජාව තවදුරටත් සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන භාවිතයෙන් රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවය.

ඉදිරියේදී සියලුම රේගු සටහන් සහ අදාළ ලේඛන කඩදාසි රහිතව විද්‍යුත් ක්‍රමවේදයෙන් පමණක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ද ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේය.