දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න - අගමැති
June 9, 2026 10:47 pm
'දිට්වා' සුළිකුණාටුවෙන් හානියට පත් එක් එක් පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
වතු ආශ්රිත පාසල් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නාය.
මෙහිදී දිට්වා සුළිකුණාටුවෙන් වතු ආශ්රිත පාසල්වලට සිදුවූ හානි, ඒ සඳහා ගෙන ඇති ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ඉඩම් ගැටලු, ගුරු පුරප්පාඩු, පාසල් සංවර්ධනය සහ නැවත ඉදිකිරීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල පූර්ණ හානි, අර්ධ හානි සිදුවූ සහ වෙනත් ස්ථාන වෙත ගෙනයා යුතු පාසල් පිළිබඳව ද අවධානය යොමු විය.
අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, හානියට පත් පාසල්වල සිසුන් වෙනත් පාසල්වලට අනුයුක්ත කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එම දරුවන් නිසි ලෙස පාසල් පැමිණෙනවාද, අධ්‍යාපනය ලබනවාද සහ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මොනවාද යන්න පිළිබඳ පසු විපරමක් සිදු කළ යුතු බව ද ඇය සඳහන් කළාය.
එමෙන්ම, තාවකාලික පාසල් ඉදිකිරීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කළ යුතු බවත්, නිවැරදි දත්ත රැස්කර සියලු පාර්ශ්ව සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් ඇය පෙන්වා දුන්නාය.
දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වෙනම දෙමළ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත්, මෙවර ගුරු බඳවා ගැනීම්වලදී පළාත් පාසල්වල ගුරු පුරප්පාඩුවලින් සියයට 50ක් පිරවීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
තවද, වතු ආශ්රිත පාසල් දරුවන් සඳහා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීම සහ වෘත්තීය අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.
