විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන තීරණයක් ගෙන නෑ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන තීරණයක් ගෙන නෑ

June 9, 2026   03:10 pm

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම සඳහා මෙතෙක් රජය තුළ සාකච්ඡාවක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ රජය ඒ පිළිබඳව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති නමුත් විවිධ වෘත්තිකයින්ගෙන් මේ සඳහා යෝජනා පැමිණ ඇති බවය.

කෙසේ නමුත් විවිධ වෘත්තිකයින් කොවිඩ් කාලසීමාවේදී රට හැර ගොස් තිබූ බවත් වෘත්තිකයින් සම්බන්ධව අවධානය යොමු කරමින් මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක් ආණ්ඩුව තුළ තාම නෑ. නමුත් විවිධ වෘත්තික කණ්ඩායම් තුළ විශ්‍රාම යන වයස ඉහළ දැමීම සඳහා වන යෝජනා ඇවිත් තියෙනවා. ඒකට හේතු කිහිපයක් බලපාලා තියෙනවා එකක් තමයි අපේ රටෙත් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිවෙලා තියෙනවා, කොවිඩ් සමයේදී වෘත්තිකයින් රැසක් රට හැර ගියා මේ ආදි කරුණු නිසා සහ මේ අයගේ අත්දැකීම් යන කරුණු මත රාජ්‍ය සේවයේ තව කාලයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද කියන එක වෘත්තිකයින්ගේ පැත්තෙන් ඇවිත් තිබෙනවා. මීට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය අපි තීන්දුවක් ගත්තා අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60-63 දක්වා දීර්ඝ කළා. තවත් වෘත්තිකයින්ගේ ඉල්ලීම් තිබෙනවා. නමුත් විශේෂයෙන් විනිසුරුවරුන් සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගෙන නෑ."