කෝටිපති ව්‍යාපාරිකයාගේ සල්ලිවලට විද්ද සේවකයා
June 9, 2026 10:52 am
මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් ලක්ෂ 80ට වැඩි මුදලක් සොරාගත් එම ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සේවය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී, සොරාගත් ලක්ෂ 80ක මුදලින් රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, හැලමඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඉකුත් වෙසක් පොහොය නිවාඩුව වෙනුවෙන් අදාළ ව්‍යාපාරිකයා සිය සේවකයින්ට නිවාඩු ලබා දී ඇති අතර ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග කතරගම වන්දනාවේ ගොස් තිබුණි.
එහිදී මෙම සැකකාර සේවකයා ව්‍යාපාරිකයාගේ නිවස බිඳ රුපියල් ලක්ෂ 80ක මුදලක් සොරා ගෙන පළාගොස් තිබුණි.
කෙසේවෙතත් අදාළ සේවකයා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම මීගොඩ සොරකම සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සැකකරු මුදල් සොරා ගැනීමෙන් පසුව අලව්ව ප්‍රදේශයට පලා ගොස් ඇති අතර එහි නවාතැන්පලක නැවතී සිට ඇති බවටත් තොරතුරු හෙළි වී ඇත.
පසුව ඔහු කුලී පදනම යටතේ වෑන් රථයක් ගෙන්වාගෙන කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණ ඇති බවත් ඊට කුලිය ලෙස රුපියල් 50,000ක මුදලක් ගෙවා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ සොරා ගත් ලක්ෂ 80ක මුදලින් ලක්ෂ 30ක පමණ මුදලක් ඔහුට වියදම් වී ඇති බවය.
අදාළ සැකකරු හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
