චීන ජනපතිට කිම් ජොන්ගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ උණුසුම් පිළිගැනීමක්
June 9, 2026 08:52 am
ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනයත් උතුරු කොරියාවත් අතර පොදු යහපත හා පොදු උපායමාර්ගික තත්ත්වයන් ආරක්ෂා කිරීම වෙනස් නොවන බව ජනපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.
උතුරු කොරියාවේ දෙදින රාජ්‍ය සංචාරයකට එක්ව සිටින චීන ජනපතිවරයා ඊයේ (08) පියොංග්යැංග් අගනුවර දී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමුවෙමින් මේ අදහස් පළ කළේය.
කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් යුත් සමාජවාදී රටවල් දෙකක් ලෙසින් චීනයත් උතුරු කොරියාවත් අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව පෙන්වා දුන් ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේ, ද්විපාර්ශ්වික සබඳතා රැකගැනීමටත්, කිම් ජොන් උන් මහතාගේ නායකත්වය යටතේ උතුරු කොරියාවේ ක්‍රියාත්මක සමාජවාදී ක්‍රමයට සහාය වීමත් චීනය අඛණ්ඩව සිදුකරනු ඇති බවය.
මෙහිදී අදහස් දක්වමින් උතුරු කොරියානු නායකයා පැවසුවේ, වසර 07කට පසු චීන ජනාධිපතිවරයා යළි උතුරු කොරියාවට පැමිණීමත්, විශේෂයෙන් මේ වසරේ පළමු විදේශ සංචාරය සඳහා චීන ජනාධිපතිවරයා උතුරු කොරියාව තෝරාගෙන තිබීමත් තම රටට මහත් ගෞරවයක් බවය.
එමෙන්ම නව යුගයේ උතුරු කොරියා- චීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම, උතුරු කොරියාවේ වෙනස් නොවන උපායමාර්ගික තෝරා ගැනීමක් බව ද කිම් ජොන් උන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම හමුවෙන් අනතුරුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ එම ආර්යාව වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Peng Liyuan ආර්යාව පිළිගනිමින් ඊයේ (08) රාත්‍රියේ පියොංග්යැංග් ක්‍රීඩාංගනයේදී විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් ද පැවැත්විණ.
එම අවස්ථාවට ද උතුරු කොරියානු නායකයා සහ එම ආර්යාව එක්විය.






