ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිවිසුමට අදාළ නියමයට උපදේශක කාරක සභාවේ අනුමැතිය
May 29, 2026 11:30 am
2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරිණි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේ මෙලෙස අනුමැතිය හිමිවිය.
2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2026.05.19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගත් මෙම ගිවිසුම මගින් සාපරාධී කාරණාවලදී දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීමට මඟ පාදයි.
ඒ අනුව අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි මෙම නියමය මගින්, ත්රස්තවාදයට සම්බන්ධ අපරාධ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම සඳහා භාවිත කිරීමට අදහස් කරන ලද අරමුදල්, අපරාධයකින් උත්පාදිත දේ සහ අපරාධ මෙවලම් සොයා ගැනීම, තහනම් කිරීම, අහිමි කිරීම හෝ රාජසන්තක කිරීම ඇතුළු අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ මැඩ පැවැත්වීම සම්බන්ධ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම මගින් ගිවිසුමේ දෙපාර්ශවයේම භූමිකාව වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ.
අධිකරණ ක්ෂේත්රයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර 2018 වසරෙන් පසු බඳවා ගැනීම් සිදු නොකිරීම නිසා මේ දක්වා පුරප්පාඩු 2647 ක් ඇති බව නිලධාරීහු පැවසූහ.
ඒ අනුව බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව, මන්ත්‍රීවරු අධිකරණ, බන්ධනාගාර හා නීති ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවාට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
