රථ වාහන වැරදි කළැයි පොලීසිය නමින් SMS එවා මුදල් ගරන ජාවාරමක් 

රථ වාහන වැරදි කළැයි පොලීසිය නමින් SMS එවා මුදල් ගරන ජාවාරමක් 

May 28, 2026   07:09 pm

රථ වාහන වැරදි සිදුකරන රියැදුරන්ට, අදාළ දඩ මුදල් ගෙවීම සඳහා පිවිසීමට GOV PAY වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස්කර සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

පොලිසිය පැවසුවේ, සිය දෙපාර්තමේන්තුව මගින් යොමුකරන කෙටි පණිවුඩ සහ Whatsapp පණිවුඩ ලෙස එම ව්‍යාජ ව්‍යාජ වෙබ් අඩවියට අදාළ පිවිසුම, ජවාරම්කරුවන් විසින් රියැදුරන් වෙත යොමුකර ඇති බවය.

පොලීසිය ලෙස හුවාදක්වමින් තමන්ව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවකට හසුකරගැනීමට උත්සාහ දැරූ බවට පිළියන්දල ප්‍රදේශයේ පිරිසක් අද දෙරණට අනාවරණ කළේය.

පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

මෙවන් පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ ශ්‍රී ලංකා පොලිසිය බවට හුවා දක්වමින් මේ ආකාරයේ කෙටි පණිවිඩ සහ Whatsapp පණිවිඩ යොමු කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇති බවය.

රථවාහන වැරදි සිදුකරන රියැදුරන් CCTV දර්ශන මගින් හඳුනාගත් බවත්, අදාළ වැරදි සඳහා දඩ මුදල් ගෙවීම සඳහා පිවිසීමට GOV PAY වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් දක්වා ඊට පිවිසෙන ලෙසද එම පණිවුඩ වල සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

දඩ මුදල ගෙවීම සඳහා එලෙස පිවිසෙන රියදුරන්ට වෙබ් අඩවියේ තවදුරටත් ඉදිරියට යාමට සලස්වා ඒ හරහා ඔවුන්ගේ CREDIT කාඩ්පත් තොරතුරු ඇතුළු වෙනත් සංවේදී දත්ත ඉතා සූක්ෂ්ම අයුරින් ලබාගැනීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර ඇතැයිද අනාවරණවී තිබේ.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රථ වාහන වැරදි සිදුකළ බවට ලැබෙන මෙවැනි පණිවිඩ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම ඔබ යම් රථ වාහන වරදක් සිදුකළහොත් පොලිස් නිලධාරියෙකු විසින් ඒ පිළිබඳව සිදුකරන දැනුම්වත් කිරීමකින් අනතුරුව ඔබ වරද පිළිගත් විටදී පමණක් govpay යෙදවුමෙන් දඩ පත්‍රිකාවක් ලබාගැනීමෙන් පසු අදාළ දඩ මුදල ගෙවීමට කටයුතු කරන ලෙසද පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලාසිටී.

මේ අතර පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ක්‍රියාත්මකවන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ විද්‍යුත් ජාලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබේ.

පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.