මෙරට සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට අධි රුධිර පීඩනය
May 21, 2026 12:53 pm
මෙරට සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට අධි රුධිර පීඩනය පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.
මෙරට සිදුවන මරණවලින් සියයට 34කට පමණ අධි රුධිර පීඩනය නිසා ඇතිවන රෝග හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (20) පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය පැවසුවේය.
එහිදී වැඩිදුර අදහස් දැක්වු වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය,
"අධි රුධිර පීඩනය තියෙනවා කියන එක බොහෝවිට අපිට දැනෙන්නෑ. විශේෂයෙන් අවුරුදු 35ට වැඩිනම් මේ රුධිර පීඩනය අවම වශයෙන් මාස හයකට වරක් අවුරුද්දකට වරක් පරීක්ෂා කරගන්නවා නම් අපිට දැනගන්න පුළුවන් අපේ රුධිර පීඩනය වැඩි ද මොකද වෙලා තියෙන්නේ කියලා. අපේ රටේ සාමාන්‍යෙයන් තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට අධිරුධිර පීඩනය තියෙනවා. සියයට 63.9ක් ප්‍රතිකාර ලබන්නේ නෑ. ඊට අමතරව ප්‍රතිකාර ලබා ගන්නා පිරිසෙන් 39.1%ක් රුධිර පීඩනය පාලනය වෙලා නෑ. ලුණු අධික ආහාර ගන්න එක රුධිර පීඩනයට හේතුවක්"
