මෙරට මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට
April 12, 2026 10:03 pm
මෙරට මුහුදු සීමාවට ඇතුළුවී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් දොළොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
යාපනය කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් මොවුන් සිය භාරයට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර, එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත යාත්‍රා යොදවා සිදු කරනු ලබයි.
එහිදී, මෙරට මුහුදු සීමාවේ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය යාත්‍රාවක් වෙත නාවික හමුදාව නීත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කර තිබේ.
එහිදී ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.
