සිසු සැරිය බස්රථ සේවාවට තවත් බස්රථ 200ක්

සිසු සැරිය බස්රථ සේවාවට තවත් බස්රථ 200ක්

March 12, 2026   03:31 pm

'සිසු සැරිය' බස්රථ සේවාව තවදුරටත් විධිමත් කිරීම සඳහා මෙම වසරේ දී නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක්කිරීමට නියමිතව ඇත.

ඉසුරුපාය පරිශ්‍රයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් මේ බව තහවුරු කළේය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම 'සිසු සැරිය' බස්රථ සේවය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම මාධ්‍ය හමුවේදී පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමඛතාවක් සේ සලකා ක්‍රියා කරන බවය.

ඒ වෙනුවෙන් මෙම වසරේ දී රුපියල් බිලියනයක පමණ මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බව හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සහ එහි සැලසුම් අධ්‍යක්ෂ ආලෝකා කරුණාරත්න මහත්මිය පෙන්වා දුන්නේ, පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට ඵලදායී සේවයක් සැපයීම අරමුණු කොට ‘සිසු සැරිය’ පාසල් බස් රථ සේවය තවදුරටත් විධිමත් කිරීමට නව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් දියත් කෙරෙමින් පවතින බවය. 

එහි ප්‍රධාන කරුණක් ලෙස පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවා නිසි ලෙස ප්‍රමිතිගත කිරීමට නීතිමය වශයෙන් තිබූ අවහිරතාව ඉවත් කිරීම පෙන්වා දෙනු ලැබූ අතර, එමගින් එම රථවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුදුභාවය හා රිය සහායක පිළිබඳ තොරතුරු ආදී වශයෙන් යම් නීතිමය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ පිළිබඳ අණ පනත් කෙටුම්පත් කරමින් පවතින බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ 'සිසු සැරිය' බස් රථ සේවාව දීප ව්‍යාප්තව ඉතා පුළුල් ලෙස ව්‍යා‍ප්ත කිරීම සඳහා පෞද්ගලික බස් රථ සහ කුඩා මට්ටමේ ආරක්ෂිත වාහන හිමියන්ට ද ආරාධනා කරන බවය. 

මෙහිදී ආසන්නවම ඇති ගමනාගමන මණ්ඩලයට හෝ ලංගම කාර්යාලයකට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් ඒ සඳහා දායක විය හැකි බව සඳහන් කෙරුණු අතර, පාසල්වල ප්‍රවාහන අපහසුතා ඇති සිසුන් සිටී නම් ඔවුන් පිළිබඳ විදුහල්පති මාර්ගයෙන් ඉහත ආයතන දැනුම්වත් කිරීමෙන් මෙම පහසුකම් සලසාදිය හැකි බවත් වැඩිදුරටත් දැන්වීය.