එජාප - සජබ ඉදිරි සාකච්ඡා ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක් 

එජාප - සජබ ඉදිරි සාකච්ඡා ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක් 

January 7, 2026   06:21 pm

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශපාලනික සාකච්ඡා දෙපාර්ශ්වයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමග සාකච්ඡා කිරීමට තීරණය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (07) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ඊට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයද හිමිවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග ඒකාබද්ධව කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම ඉදිරි කටයුතු වෙනුවෙන් කමිටු දෙකක් පත් කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා,

"කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගොඩක් කරුණු සාකච්ඡා කළා. විශේෂයෙන්ම අද රට මුහුණදී තිබෙන තත්ත්වයත් ඒ අරාජික තත්ත්වයත්.. ඒ සඳහා රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමටත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ගතයුතු ක්‍රියාමර්ග පිළිබඳව සාකච්ඡා කළා."

"සමගි ජන බලවේගය ඒ් වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සහ සංවිධාන ඒ් හැමෝම එක්ක එකට වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කළා."

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නවීන් දිසානායක මහතා අදහස් දක්වමින්,

"එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතු රාමුවක් ගැන අපි අද කතා කළා. අපි කතා කළ විදියට දෙපාර්ශ්වය බොහෝ දුරට එකතුවෙලා වැඩ කරන්න රාමුවක් නායකතුමා යෝජනා කළා. මං හිතන්නේ ඒ්ක බොහෝදුරට සාර්ථක වෙයි කියලා. පක්ෂ දෙකේම අනන්‍යතාව තියාගෙන එක තැනකට එන්න යාන්ත්‍රණයක් තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. නායකතුමා යෝජනා කළා පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩල දෙකත් දැන් සාකච්ඡා කළ යුතුයි කියලා. ඒක ඉතාම ධනාත්මක අදහසක්. අපිට ඒ විදියට නොයෙකුත් ආකාරයේ එකමුතුව වැඩ කරන්න පුළුවන්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාත් වෙනම සාකච්ඡා කරන්න යෝජනා වුණා." 

එක්සත් ජාතික පක්ෂයෙන් සහ සමගි ජන බලවේගයෙන් ප්‍රකාශ වූ කරුණු සැළකිල්ලට ගනිමින් පහත යෝජනා කිහිපය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.