
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්. ජයිශංකර් ඉන්දියාවේ අමෙරිකානු තානාපති ලෙස නම් කරන ලද සර්ජියෝ ගෝර් හමුවී සාකච්ඡා කර තිබේ.
ඉන්දීය මාධ්ය වාර්තා කළේ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වී ඇති බවය.
මේ අතර සිය අමෙරිකානු සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්යවරයා අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ ද හමුවී තිබේ.
අමෙරිකාවේ බදු පැනවීම් හමුවේ දෙරට අතර උද්ගත වූ අර්බුදයෙන් පසුව රාජ්ය තාන්ත්රික මට්ටමේ නිලධාරීන් දෙදෙනෙකු මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව ද එය බව පැවසෙයි.
ඒ අනුව දෙපාර්ශ්ව විසින් ගැටලු ගණනාවක් පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් ය.
එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී වීම සඳහා නිව් යෝර්ක් නුවර රැඳී සිටින විදේශ අමාත්ය එස් ජයිශංකර් එම සැසිවාරයට සමගාමීව ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රැස්වීම් මාලාවක් පවත්වනු ඇති අතර සැප්තැම්බර් 27 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වේදිකාවේ සිට සිය ප්රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.





















































