ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට
March 24, 2025 04:06 pm
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතා පත් කර තිබේ.
නව තානාපතිවරුන් දෙදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකු පත් කිරීම් සඳහා වන පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් ඔහුගේ නම අනුමත කර තිබේ.
ඒ අනුව කියුබා ජනරජයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.
එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහා වන නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර ඇත.
