දැරියකට කළ කෘෘරත්වයට නීතිය ක්‍රියාත්මක වෙයි

දැරියකට කළ කෘෘරත්වයට නීතිය ක්‍රියාත්මක වෙයි

February 27, 2025   07:20 pm

අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට කෘෘරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක අද (27) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 'අද දෙරණ උකුස්සා' එම ළමා නිවාසය තුළ සිදුවන අකටයුතුකම් පිළිබඳව සිදුකළ ගවේශනාත්මක වාර්තාකරණයේ ප්‍රථිපලයක් ලෙසය.

මෙම ළමා නිවාසයේ නේවාසික දැරියන්ට එහිදී සිදුවන අකටයුතුකම් පිළිබඳව අද දෙරණ උකුස්සා ඉකුත් 2021 වසරේදී අවස්ථා කිහිපයකදී රට හමුවේ අනාවරණ කළේය.

ආන්දෝළනයකට තුඩුදුන් එම අනාවරණය 2022 වසරේ පැවති සුමති සම්මාන උළෙලේදී හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.

එම අනාවරණයෙන් අනතුරුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

එම විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ ළමා නිවාසයේ රඳවා සිටි වයස අවුරුදු 17ක දැරියක අරක්කැමි සේවයේ යොදවා කෘෘරත්වයට පත්කර ඇති බවය.

ඒ අනුව උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව සැකකාර හිටපු කොමසාරිස්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අද පෙරවරුවේ අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් අද පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියම කළේය.

එමෙන්ම ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පැනවුණි.

නඩුව සැප්තැම්බර් මස 08 වැනිදා යළි කැඳවීමට නියමිතය.