ජනපති සහ මෙරට ඉතාලි තානාපති අතර හමුවක්
February 27, 2025 03:32 pm
ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා පවසා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් අද (27) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම අදහස් පළකර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබාදෙන බවද ඉතාලි තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබාදිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකිකයින්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්විය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා අතර හමුවක් ද අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි .
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන්ම දෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර හමුවක් ද අද සිදුවූ බවය.
ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බවද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති එහිදී පවසා තිබේ.