ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට වසර 10යි

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට වසර 10යි

February 27, 2025   01:44 pm

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වඩාත් ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවී අදට (27) වසර 10 කි.

2015 පෙබරවාරි 27 දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 1,000කින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ වන විට මේ හා සමාන ණය උපකරණ වෙනුවෙන් බැඳුම්කර වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 9.50%ක් පමණ විය.

කෙසේවෙතත් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද බැඳුම්කරවල වටිනාකම රු. මිලියන 1,000ක් වුවද ඒ වෙනුවෙන් රු. මිලියන 20,708ක දැවැන්ත ලංසු ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. එහිදී ලැබුණු ලංසුවලින් වෙන්දේසිය අවසානයේ දී රු. මිලියන 10,058ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක ලංසු අනුමත කෙරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව එදින පස්වරුවේ නිවේදනය කර සිටියේය.

මෙහිදී වාර්තා වූ අනෙක් කරුණ නම් එම අවස්ථාවේ දී වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොලී අනුපාතිකයට වඩා ඉහළ පොලී අනුපාතිකයක් යටතේ එම බැඳුම්කර නිකුත් කිරීමට පියවර ගැනීමයි. එය 12.50% ක තරම් ඉහළ අගයයක් විය.

බැලූබැල්මට මෙම නිකුතුවේ යම් අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පෙනෙන්ට වූ අතර නිකුතුව සිදුවී දින කිහිපයකින් මෙය රට තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇති කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස එවකට මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන මහේන්ද්‍රන්ට සිය ධූරය අහිමි වූ අතර මෙම බැඳුම්කර නිකුතුවේ ප්‍රධාන පාර්ශවයක් වූ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන් ඇලෝෂියස් හට සිරගත වීමට පවා සිදුවිය. අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝෂියස් අතර තිබෙන ඥාතීත්වය මෙම සිද්ධියේ ආන්දෝලනාත්මක බව තවදුරටත් තීව්‍ර කළේය. එපමණක් නොව අවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායකට ද සිය තනතුර අහිමි කරලන්නට මෙම සිදුවීම සමත්විය.

කෙසේවෙතත් වසර 10 ක් ගත වුවද මේ සම්බන්ධයෙන් අදාළ අධිකරණ කටයුතු තවමත් පැවැත්වෙමින් පවතී. 2045 මාර්තු 01 දින මෙම බැඳුම්කරය කල්පිරීමට නියමිතය. බැඳුම්කරයේ කාලයෙන් 1/3ක් මේ වන විට ගත වී අවසන්ය.

"මේකට නඩු පවරලා තියෙනවා. දැන් එය තිබෙන්නේ අපෙන් පිටත. නඩු කටයුතු දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. ප්‍රගතිය බලන්න නම් එය අවසන් විය යුතුයි ඊළඟ පියවරට යන්න නම්. එය ඉක්මනින් අවසන් වෙනවා නම් හොඳයි" යනුවෙන් මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේය.