උකුසු ඇසට කොටු වූ දකුණු කොරියාවේ රැකියා ජාවාරම

උකුසු ඇසට කොටු වූ දකුණු කොරියාවේ රැකියා ජාවාරම

November 29, 2024   08:19 pm

දකුණු කොරියාවෙන් මෙරටට අනුමත කර නොමැති E7 සහ E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුලාකරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකරදීමට 'අද දෙරණ' උකුස්සාට හැකිවුණි.

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රවටන ජාවාරම් පිළිබඳ 'අද දෙරණ' උකුස්සා අවස්ථා රැසකදී රටට අනාවරණ කළේය.

අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දෙදෙනෙක් වට්ස්ඇප් හරහා පුද්ගලයන් සම්බන්ධකරගෙන නීතිවිරෝධී ලෙස කොරියා රැකියා ලබාදෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණේ ඒ අතරයි.

ඒ අනුව 'අද දෙරණ' උකුස්සා ද එක්කර ගනිමින් වැටලීම් නිලධාරීන් අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයට ගියේය.

විදේශ රැකියා ආයතනය වෙත ගිය අපට එහි සේවිකාවක් කොරියානු රැකියා අවස්ථා පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

"කොරියාවට වෑල්ඩින් විතරයි යවන්නේ. මාස තුනක් යනවා යවන්න. ඊට පස්සේ ඔයාලට බැංකු ලෝන් එකක් හම්බවෙනවා ලක්ෂ 25ක. එහෙ ගිහින් ලැන්වේජ් එක උගන්වනවා. පඩිය ලක්ෂ 8යි."

එම තොරතුරු මත අප අදාළ වැඩමුළුව පැවැත්වෙන හෝටලයට ගිය අතර එහි නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් දෙදෙනෙක්, පිරිසක් සඳහා කොරියානු රැකියා අවස්ථා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් සිටියේය.

එහිදී වහා ක්‍රියාත්මක වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී ඔවුන් වෙනත් ආයතනයක රැකියා බලපත්‍රයක් අවභාවිත කර තිබූ බවත් හෙළිවුණි.

"මෙච්චර ප්‍රශ්න තියෙද්දි රටේ E8 එකේ ඔයගොල්ලෝ මෙහෙම පණිවුඩ යවලා වට්ස්ඇප් එකේ කාර්යාංශ පනත අනුව වරදක්. E7 එකය යවන්න රැකියා ඇණවුම් තියෙනවා ද? මෙහෙම සම්මන්ත්‍රණ තියන්න බෑ. කාර්යාංශයේ අනුමැතියක් නැතුව. ඒක වරදක්."

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ, E7 සහා E8 වීසාවලට අදාළව කිසිදු රැකියා කෝටාවක් කොරියාවෙන් මෙරටට ලැබී නොමැති බවය.

කොරියානු රැකියා සඳහා අයදුම් කරන්නේ නම් ඒ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කරන ලෙසද ඔවුන් ජනතාවට දැනුම් දෙයි.