රටවිරුවන්ට ලැබෙන වාහන බලපත්‍ර රැසක් අවභාවිත කරලා
November 23, 2024 02:13 pm
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීමට ලබාදී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
විගණකාධිපති ඩබ්ලිව් .පී .සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක් මේ වනවිටත් පාර්ලිමේන්තුවට භාර දී ඇති බවය.
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් එවනු ලබන ප්‍රේෂණ හරහා මෙරට ආර්ථිකයට හිමිවන දායකත්වය අතිමහත් ය.
ඒ අනුව එම සේවාව අගය කරනුවස් ඔවුන් වෙනුවෙන් විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පසුගිය රජය සමයේදී ආරම්භ කළේය.
ඒ අනුව සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයින් සඳහා අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක්ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද 4කින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක්ද ආනයනය කිරීමටද බලපත්‍ර ලබා දී තිබුණි.
කෙසේ වෙතත් මෙතෙක් නිකුත් කර ඇති එවැනි බලපත්‍ර 1,000කට අධික සංඛ්‍යාවක් අවභාවිත වී ඇති බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විශේෂ විගණනයකදී අනාවරණ වී තිබේ.
මෙම පසුබිම හමුවේ එම බලපත්‍ර ලබාගැනීමට සුදුසුකම් ලැබූ විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසකට එම බලපත්‍ර හිමි වී නැති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා පවසයි.
එමෙන්ම එම බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළේදී තවත් අක්‍රමිකතා රැසක්ද සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ඒ අනුව සියලු අක්‍රමිකතා ඇතුළත් කර සැකසූ මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට භාර දී තිබේ.
ඒ අනුව එම වාර්තාව ඉදිරියේදී සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ හරහා රජයට නිර්දේශ ගණනාවක්ද ජාතික විගණන කාර්යාලය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනාවරණ වූ කරුණු මත මසකට අධික කාලයක් පුරා සිදුකළ විගණනයක් හරහා මෙම වාර්තාව සම්පාදනය කර තිබේ.