බැංකුවත් ව්‍යවසායකයාත් ආරක්ෂා වනපරිදි සමස්ත ක්‍රියාවලිය සිදුකළ යුතුයි - ජනපති
October 29, 2024 06:41 pm
රට ගොඩනැගීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමග විශේෂ බැඳීමක් නොමැති බැවින් ගතයුතු සෑම තීන්දුවක්ම නොපැකිළිව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (29) හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් බැංකුවලින් සිදුවන මැදිහත්වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානයට යොමුවී තිබේ.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙහි වැදගත්කම සහ විද්‍යුත් හැඳුනුම්පත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම වැඩපිළිවෙළ වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
පැන නැගුණු ආර්ථික අර්බුදය සමග බැංකු පද්ධතිය යම් දරාගැනීමක් සිදුකරමින් ව්‍යවසායකයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ව්‍යවසායකයින් එම දරාගැනීම අවභාවිත කරන්නේ නම් එය ගැටලුවක් බව සඳහන් කළේය.
බැංකුවත්, ව්‍යවසායකයාත් ආරක්ෂා වනපරිදි සමස්ත ක්‍රියාවලිය සිදුකළ යුතු බවට මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අවිධිමත් අංශය විශාල වන අතර එය විධිමත් කිරීමේදී දැනට අවිධිමත් ආර්ථිකය තුළ යැපෙන ජනතාව සුරක්ෂිත වන ආකාරයට එම ක්‍රියාවලිය සිදු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ දැනට පවතින දුෂ්කරතා, ව්‍යාපෘති සඳහා ගතවන කාලය වැඩිවීම, දූෂණය ආදි කරුණු හේතුවෙන් ආයෝජන පවත්වා ගෙන යාමට තිබෙන බාධා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මෙම ක්‍රියාවලියේදී සියලු කටයුතු සරල හා අදූෂිත, කාර්යක්ෂම ක්‍රමවේදයක් තුළට ගෙන ඒමට තම රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.