දුම්රිය කාර්මික දෝෂවලට හේතුව ගැන හෙළිදරව්වක්
October 29, 2024 12:46 pm
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ප්‍රමාණවත් පරිදි දුම්රිය කාර්මික ශිල්පීන් නොමැතිවීම දුම්රිය නිරන්තරයෙන් කාර්මික දෝෂවලට ලක්වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව වාර්තා වෙයි.
පසුගිය කාලසීමාව තුළ මෙන්ම ඊයේ (28) සහ අද (29) දිනයේදීත් දුම්රිය කිහිපයක් කාර්මික දෝෂවලට ලක් වූ අතර ඒ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත් විය.
මේ සම්බන්ධයෙන් "අද දෙරණ" සිදුකළ විමසීමක දී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ කාර්මික ශිල්පීන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී දැනුම් දී ඇති බවය.
එහෙත් මේ දක්වාත් ඊට විසඳුම් ලබාදීමට පැවති රජයන් අපොහොසත් වූ බව ද ඔහු සඳහන් කළේය.
දිගින් දිගටම දුම්රිය කාර්මික ශිල්පීන්ගේ හිඟය පැවතියහොත් ලබන වසර වන විට දුම්රිය සේවාව පවත්වාගෙන යාමේ ගැටලු මතුවනු ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
එම නිසා කඩිනමින් කාර්මික ශීල්පීන් බඳවා ගන්නා ලෙස වත්මන් ආණ්ඩුවට දැනුම්දීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා සිටියා.
මේ අතර අද උදෑසන දුම්රිය කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සහ කැලණිවැලි දුම්රිය මාර්ගවල ප්‍රමාදයන් සිදුවුණි.
කෙසේවෙතත් මේ වනවිට එම දුම්රියන් යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.