වත්මන් ආණ්ඩුවේ ණයගැනීම ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්

වත්මන් ආණ්ඩුවේ ණයගැනීම ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්

October 29, 2024   09:41 am

‍පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සීමාවන්ට යටත්ව පමණක් වත්මන් රජය ණය ලබාගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඉදිරි පාර්ලිමේන්තුව තුළ දී එම සීමාවන් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවය.

ඊයේ (28) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය - ජනාධිපතිවරයා පත්වුණ දවසේ ඉඳලා භාණ්ඩාගාර නිකුතු පහකින් බිලියන 569යි. ඒ වගේම බැඳුම්කර නිකුතු දෙකක් වුණා. බිලියන 127යි. ඔක්කෝම බිලියන 697ක් ණය ගන්නට සිද්ද වුණා. එ් අනුව මේ ණය ගැනීම එක පාරම නවත්තලා දාන්න පුළුවන් කියලා, මේක අධ්‍යයනය කරද්දි තේරෙන්නේ නෑ. ඉදිරියට තව ණය ගන්නේ නැතුව බදුත් අඩුකරලා පාලනය කරන සැලැස්ම ප්‍රායෝගික ද මේ වෙලාවේ ?

"අපිට ණය ගෙවා ගත හැකි මට්ටමට දේශීය හා විදේශීය ණය අපි කොහොම ද කළමනකරණය කරගන්නේ කියන එක නේද ? ණය අපරාධයක් නොවෙන්නේ එතකොට. දැන් අපි ණය ගැනීම කරන්නේ, පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සීමාවට යටත්ව. ඔක්කෝම කරලා තියෙන්නේ ඒ සීමාවට යටත්ව. ඉදිරි පාර්ලිමේන්තුවේ දී ඒක අඩු කරගන්න ඒ පාර්ලිමේන්තුව කටයුතු කරයි. අපි කියන්නේ ඒ විවේචනය හරියට ඒ ප්‍රමාණයට කරන්න"

වත්මන් රජය විසින් ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ පැවති ජනහමුවක දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළකළේ මෙවන් අදහසකි.

"අපි යෝජනා කරලා තිබුණේ 2025 අයවැය හදන්න. ඒක හදන්න කලින් IMF සමග සාකච්ඡා කරලා එකඟ වෙන්න තිබුණා. එයාලා සමග සාකච්ඡා කරාට පස්සේ ස්වෛරීය බැඳුම්කර තිබුණ පුද්ගලික දැනුම්දීලා අවසන් කළා. එච්චරයි කරන්න තිබුණේ. මොකද්ද වුණේ IMF කණ්ඩායම මෙහෙට ආවහම අපි තීරණයක් ගත්තේ නෑ. කිව්වා අපි නිව්යෝක්වල සාකච්ඡා කරනවා කියලා. රත්නපුරයේ දී සෙනසුරාදා අනුර දිසානායක ජනාධිපතිතුමා කියලා තියෙනවා. යෝජනා අනුව සකස් වෙනවා කියලා. පත්තරේ තියෙනවා තාම සාකච්ඡා ඉවර නෑ. ඊළඟ අයවැයෙන් පස්සේ තමා අවසන් කරන්නේ කියලා. මොකද්ද තව සාකච්ඡා කියලා අපිට කියන්න ඕනේ."

රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන චෝදනා සම්බන්ධයෙන් දෙරණ 360 වැඩසටහන සමග එක්වූ නලින්ද ජයතිස්ස මහතා මෙසේ අදහස් පළ කළේය.

"දැන් රනිල්ගේ විවේචනය බලන්නකෝ... ඔහු මාර රාජ්‍ය තාන්ත්‍රිකයා, අවුරුදු 47ක් පාර්ලිමේන්තු හිටියා ඔක්කෝම දන්න කෙනානේ. ඔහුගේ විවේචනයේ තියෙන සාහසිකභාවය සහ අපි ඒ කාලයේ කළ විවේචනය ගත්තහම උදාහරණයක් විදියට මේ අය කියනවා ණය ගන්න එක වැරදියි. අපි කිව්වා ණය ගන්නේ නෑ කියලා. අපේ නායක අනුර සහෝදරයා බොහෝම පැහැදිලිව කිව්ව දෙයක් තමා ණය ගැනීම නෙමෙයි අපරාධය අපි කොහොමද ණය වියදම් කරන්නේ කියන එකයි. ඒක තමා ප්‍රශ්නය. IMF එකට විරුද්ධව කතා කරන එක තමා ඒ වෙලාවේ අපිට උඩට එන්න පුළුවන් වුණ මාතෘකාව වුණේ. හැබැයි අපි කොහොම ද කිව්වේ, අපේ තිබුණේම ණය කළමනාකරණය කරගැනීමේ දී IMF සහාය ලබාගන්න අපි සුදානම්. අපි හිටියේ IMF එළවා දැමීමේ තැනක නෙමෙයි. එතැනින් අනුමත කරන්න බෑනේ රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව කරපු සියලු දේ අනුමත කරන්න ඕනේ කියන තැනක"