ගම්මන්පිල ගෙන් ඇමති විජිත ට තවත් අභියෝගයක්
October 28, 2024 11:16 am
පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරුතුමියට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ට අභියෝග කළේය.
ඔහු එම අභියෝගය කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත් කිරීම සඳහා ඔහුගේ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදීය.
2023 සැප්තැම්බර් 05 වනදා එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ Dispatches නම් වැඩසටහනේ විකාශය කළ Sri Lanka Easter Bombings නම් වැඩසටහනේ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම කමිටුව පත්කළේය.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා පත්කළ අල්විස් කමිටුවට කිසිවෙක් විරුද්ධ නොවූ බව ගම්මන්පිල මහතා පැවසීය.
"මෙම පත්කළ කමිටුවට කාදිනල් තුමන් හෝ මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් කිසිම විරෝධයක් මතුකළේ නෑ. මේ කමිටුවේ සාමාජිකයින්ගේ හැකියාව හෝ. අපක්ෂපාතීත්වය කිසිම කෙනෙක් කිසිම තැනක අභියෝගයට ලක්කරලා නෑ. පසුගිය 21 වනදා අපි ජනගත කරපු අල්විස් කමිටු වාර්තාවේ අන්තර්ගතය ගැන අපි නගපු චෝදනා ගැන වචනයක්වත් කතා නොකරන ආණ්ඩුව විශේෂයෙන්ම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා කමිටුවේ සභාපති ධුරය දැරූ අල්විස් විශ්‍රාමික විනිසුරු තුමියට විෂමාචාර චෝදනා තිබෙනවාය කියලා චෝදනාවක් නැගුවා. ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙක් ගැන චෝදනා නගන්න පුළුවන් දැන් අපි දන්නවා විජිත හේරත් ඇමතිතුමාට බීමත්ව රිය පැදෙව්වයි කියලා චෝදනා තියෙනවා. නාරාහේන්පිට දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකළේ කොහොමද කියලා චෝදනාවක් තියෙනවා. කාටද බැරි චෝදනා නගන්න. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි චෝදනාවක් නගනවා නම් ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ. ඒ නිසා මම ගිය සතියේ මෙතන අභියෝග කළා විජිත හේරත් ඇමතිතුමාට පුළුවන් නම් අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදිකරු වුණාය කියන සාක්ෂි මී ළඟ රාජ්‍ය මාධ්‍ය හමුවේදී ජනගත කරන්න කියලා. දැන් හෙටයි විජිත හේරත් මැතිතුමාගේ මාධ්‍ය හමුව තියෙන්නේ ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ ස්වාධීන ජනමාධ්‍යවේදීන් කෝ ඇමතිතුමනි කෝ සාක්ෂි කියලා විජිත හේරත් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරාවි කියලා. කමිටුව සොයාගත් කරුණුවලට පිළිතුරු සැපයීම පැත්තකින් තියලා කමිටු සාමාජිකයින්ට මඩ ගැසීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ පුරුද්ද නිසා මේ කමිටුවේ සාමාජිකයින් ගැන කියන්න තීරණය කළා."