සර්වජන බලය පිහිටුවන එඩිතර විපක්ෂයේ අපේක්ෂාව

සර්වජන බලය පිහිටුවන එඩිතර විපක්ෂයේ අපේක්ෂාව

October 27, 2024   10:07 pm

ආණ්ඩුවට දූෂණයෙන් තොර අදූෂිත මාර්ගය පෙන්වීම සර්වජන බලය පිහිටුවන එඩිතර විපක්ෂයේ අපේක්ෂාව බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (27) පෙරවරුවේ සර්වජන බලයේ කටාන ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"අපි එන්නේ එඩිතර විපක්ෂය හදන්න. අපි මේ පාර්ලිමේන්තුවට ඉල්ලා සිටින්නේ මේ රටට අහිමි වුණ ශිෂ්ටසම්පන්න දේශපාලනය නැවත පොළොවේ පැල කරන්න. මේ රට තුන්වන ලෝකයේ ඉදලා අඟලක් හරි ඉස්සරහට ගෙනියන්නට පුළුවන් නිර්මාණශීලි වැඩපිළිවෙලක් ගැන පාර්ලිමේන්තුවේ සංවාද කරන්න මිසක්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු ගහගන්න නෙමෙයි. " 

"අපිට ඕනේ මේ සංස්කෘතිය වෙනස් කරලා මේ දුෂිත දේශපාලනය කියන එක අවසන් කරන්න. මේ දුෂිත දේශපාලනය අවසන් කරන්නට අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 30කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ දී අසමත් වෙලා තියෙනවා. ඔවුන් දූෂිත ගනුදෙනුවල කොටස්කරුවෙක් වෙලා තියෙනවා. ඔවුන් දූෂිත ගනුදෙනු අනුමත කරලා තියෙනවා. ඔවුන්ටත් අදූෂිත මාර්ගය පෙන්වන්නටයි අපි පාර්ලිමේන්තුවට යන්නේ."