පිළිකාවෙන් බේරෙන්න මේ කතාව ඔබ දැන සිටිය යුතුමයි

පිළිකාවෙන් බේරෙන්න මේ කතාව ඔබ දැන සිටිය යුතුමයි

February 6, 2024   11:35 am

ඊයේ රාත්‍රියේදී තුන්වන චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බවට ප්‍රකාශයට පත්කිරීමත් සමග ලෝකයේම අවධානය පිළිකා රෝගය වෙත යොමුව තිබේ.

මෙහි සුවිශේෂීත්වය වන්නේ ලෝක පිළිකා දිනයට පසුදින ලෝකෙම දන්නා ප්‍රභූවරයෙකු පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළෙන බවට ප්‍රකාශයට පත්කිරීමයි.

සෑම වසරකම පෙබරවාරි මස 04 වනදා ලෝක පිළිකා දිනය ලෙස සළකනු ලබයි.

"පිළිකා මර්දනය පිළිබඳව ජාත්‍යන්තර එකමුතුව" ලෝක පිළිකා දිනය සැමරීමේ පෙරමුණ ගෙන කටයුතු කරනු ලබයි.

මෙලෙස ලෝක පිළිකා දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ මූලික අරමුණ වන්නේ දිනෙන් දින ඉහළ යන පිළිකා අවදානම හමුවේ පිළිකාව වළක්වා ගැනීම මුල් අවස්ථාවේදී හඳුනාගැනීම සහ නිසි ප්‍රතිකාර ලබාදීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමය.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් පිළිබඳව අවධානය යොමුකරද්දී මහරගම ජාතික පිළිකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2021 වසරේදී පමණක් මෙරට පිළිකා රෝගීන් 37,753ක් වාර්තා වී ඇති බවය.

ඒ අනුව එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සෑම දිනකම දළ වශයෙන් නවතම පිළිකා රෝගීන් 106ක් රට තුළින් වාර්තා වන බවය.

2021 වසරේදී පිළිකා ආසාදනය වූ දරුවන් සංඛ්‍යාව 1000 ඉක්මවන බවද විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා අද දෙරණට පැවසීය.

මෙරට පිරිමි පුද්ගලයින් අතර මුඛය, පෙණහළු, බඩවැල්, හා ගුද මාර්ගය, ගල නාලය සහ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්වයන් බහුලව වාර්තා වන අතර කාන්ටහ්වන් අතර පියයුරු, තයිරොයිඩ් ග්‍රන්ථිය, බඩවැල් හා ගුද මාර්ගය, ඩිම්බ කෝෂ සහ ගැබ්ගෙළ ආශ්‍රිත පිළිකා තත්ත්වයන් බහුලව වාර්තාවෙයි.

2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවූ මරණ සඳහා හේතුවූ දෙවැනි සුලභතම සාධකය ලෙස පිළිකා රෝගය හඳුනාගෙන ඇති අතර 2019 වර්ෂයේදී පිළිකා රෝගය හේතුවෙන් රෝගීන් 16,000ක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

දුම්වැටි සහ මත්පැන් පානය අධික තරබාරුකම, ප්‍රමාණවත් ලෙස එළවළු සහ පළතුරු ආහාරයට නොගැනීම ව්‍යායාම අඩුකම පිළිකා මරණවලින් තුනෙන් එකකට ප්‍රධානතම හේතුව වී ඇත.

මේ අතර පිළිකා සහ ඒ සඳහා වන නිසි ප්‍රතිකාර සම්බන්ධයෙන් ජනතාව අතර පවතින විවිධ දුර්මත සහ අනවබෝධය නිසා නිසි පර්යේෂණවලින් තහවුරු නොකළ, සුදුසුකම් නොලත් නානාවිධ ප්‍රතිකාර ක්‍රමවලට රෝගී ජනතාව රැවටීමෙන් සිදුවන්නේ සුවකළ හැකි අවධියේදී නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මුලිනුපුටා දැමිය හැකිව තිබූ පිළිකාව ශරීරය පුරා පැතිරීමෙන් පසුව සුවකරගත නොහැකි අවස්ථාවන්හිදී නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමය.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මහරගම ජාතික පිළිකායතනය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්.