තායිලන්ත මැතිවරණය දිනූ පීටා ට අගමැති ධුරය ගිලිහෙන ලකුණු

තායිලන්ත මැතිවරණය දිනූ පීටා ට අගමැති ධුරය ගිලිහෙන ලකුණු

July 13, 2023   06:30 pm

ප්‍රතිසංස්කරණ සඳහා මුල්තැන දෙන බවට පොරොන්දු වෙමින් තායිලන්ත මැතිවරණය ට ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණය කළ පිටා ලිම්ජාරොන්රාත් ට (Pita Limjaronrat) එරට අගමැති වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ අවශ්‍ය පාර්ලිමේන්තු ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට නොහැකි වීම නිසාය.

ඔහුට සහ ඔහුගේ සහායකයන්ට පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇති නමුත් ආසන 249කින් යුත් සෙනෙට් සභාව දිනා ගැනීමට නොහැකි වී ඇත.

සෙනෙට් සභාවේ සාමාජිකයින් පසුගිය මිලිටරි පාලනය විසින් පත්කළ අය වෙති.

"මගේ දැක්ම සහ සෙනෙට් සාමාජිකයන්ගේ සැකයන් නැති කිරීමට මම මගේ උපරිම උත්සාහය ගන්නවා"... යනුවෙන් පිටා ලිම්ජාරොන්රාත් (Pita Limjaronrat) ප්‍රකාශ කර ඇත.

මේ අතර, මූව් ෆෝවඩ් පක්ෂයේ නායකයාද වන පිටා ලිම්ජාරොන්රාත් ට (Pita Limjaronrat) එරෙහිව අධිකරණයේ පැමිණිලි දෙකක් විභාග වෙමින් පවතියි.

ඒ, ඔහු මාධ්‍ය සමාගමක කොටස් හිමිකර ගෙන සිටිම පිළිබඳව හා ලෙස් මැජෙස්ටේ නීති සංශෝධනය කිරීමට උත්සාහ කිරීමට අදාළවය.

ඔහුගේ වඩාත්ම මතභේදාත්මක මැතිවරණ ප්‍රචාරක පොරොන්දුවක් වන්නේ, තායිලන්තයේ රජ පවුල සම්බන්ධ නීති සංශෝධනය කරන බවට දුන් මැතිවරණ පොරොන්දුවයි.