පොලිස් වෙස් ගෙන කොල්ලකන රැල්ලක්

පොලිස් වෙස් ගෙන කොල්ලකන රැල්ලක්

July 1, 2023   02:59 pm

පොලිස් නිලධාරීන්ගේ වෙස්ගෙන නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව පවසා ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑ සිද්ධියක් කහතුඩුවෙන් වාර්තා වෙයි.

ලී මෝලක් හිමි කහතුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් ඊයේ (30) සවස එලෙස කොල්ලකා තිබේ.

එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ පුත්‍රයා පමණි.

එකවරම නිවසට කඩාවැදුණු තිදෙනෙකුගෙන් යුත් කල්ලිය ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ පුතුට පහරදී  රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් කොල්ලකා පළාගොස් ඇතැයි කහතුඩුව පොලීසිය කියයි.

අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බවට පවසමින් කොල්ලකරුවන් නිවසට ඇතුළුවූ බව ව්‍යාපාරිකයාගේ බිරිඳ පවසයි.

නිවසේ පිටුපස දොර අසලට පැමිණ තිබූ  කොල්ලකරුවන්, "අපි ආවේ මත්කුඩු හොයන්න.. ඔයාලගේ රන් භාණ්ඩ තියෙනවා නම් අයින් කරගන්න" යැයි පැවසීමත් සමඟම ව්‍යාපාරික බිරිඳ ඔවුන් අමතා  පොලිස් හැඳුනුම්පත පෙන්වන ලෙස පැවසීමත් සමගම එක් කොල්ලකරුවකු ඇයගේ මුහුණට පහරදී ඇත.

ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුතු ජංගම දුරකථනය රැගෙන නාන කාමරයට ගොස් සිය පියාට කතා කිරීමට උත්සාහ කිරීමේදී එහි දොර කඩා පුතාව එළියට ගත් කොල්ලකරුවෙක් ඔහුට පහරදී ජංගම දුරකථනය ද රැගෙන ගොස් තිබේ.

ඒ අනුව කාමර 03ක තිබූ අල්මාරි 03ක් පරීක්ෂා කර ඇති කොල්ලකරුවන් රන් භාණ්ඩ සහ ව්‍යාපාරික බිරිඳ පැළඳ සිටි රන් මාලය ද කොල්ලකා ඇත.

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ කොල්ලකරුවන් විනාඩි 15ක් පමණ අදාළ නිවසේ රැඳී ඇති බවය.

කොල්ලකරුවන් යතුරුපැදිවලින් පැමිණ තිබූ බවද හෙළිවී ඇත.

කහතුඩුව පොලීසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

මේ අයුරින් මීට දින දෙකකට ඉහතදී ද පොලිස් වෙස්ගෙන යතුරුපැදිවලින් පැමිණි සිව්දෙනෙකු මිල්ලනිය කැන්නන්තුඩාව ප්‍රදේශයේදී පොලියට මුදල් ලබාදෙන පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තිබුණි.

එලෙස පැහැරගෙන ගොස් ඔහු සතු රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ලකා ඇත.