අද විශ්‍රාම යන්නේ සැහැල්ලුවෙන්-සතුටින්

අද විශ්‍රාම යන්නේ සැහැල්ලුවෙන්-සතුටින්

April 11, 2016   01:46 pm




ප්‍රධාන අරමුණු කිහිපයක් ඔස්සේ, රටේ ජනතාවට ශ්‍රි ලංකා පොලීසියෙන් අවශ්‍ය වූ පොලිස් සේවාව ලබා දීමට තමා කටයුතු කළ බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද(11) දින පොලිස්පති තනතුරින් විශ්‍රාම ගැනීමට අදාළව මාධ්‍ය දැනුවත් කිරීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීය.

මෙරට 33 වන පොලිස්පතිවරයා ලෙස වසර 5කට ආසන්න කාලයක් සිය වෘත්තියේ සේවය ගත කළ ඒ මහතා අද දින පොලිස්පති තනතුරින් විශ්‍රාම යාමට නියමිතය.

දීර්ඝ කාලයක් පොලිස්පති ධූරයේ කටයුතු කළ ඒ මහතා පොලිස් දෙපාර්තමේන්තුව ඉහළ තත්ත්වයකට ගෙන ඒම සඳහා ඉතා කැපවීමකින් කටයුතු කළ පොලිස්පතිවරයෙකු වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා,

මගේ වෘත්තීය ජීවිතය තුළ අංක එක වුණේ හොඳ ජනතා සේවයක් ලබා දීම.ජනතාවගේ බදු වලින් වැටුප් අරගෙන, ප්‍රතිඥා දීල රාජ්‍ය සේවකයන් විදිහට අපි පත්වෙන්නේ ලොකු වගකීමක් ඇතුව.මා සැම විටම කටයුතු කළේ ජනතාව වගේම පොලීසිය අතර කිට්ටු සබඳතාවයක් ඇති කරන්න.අද ලොව පිළිගත් සංකල්පයක් තමයි සේවා කටයුතු වලට ජනතා සම්බන්ධතාවයක් ලබා ගැනීම.එවිට දුරස්ථභාවය අවමකර ගන්න වගේම මිත්‍රශීලී සබඳතාවයක් ඔස්සේ හොද සේවාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

ඒ වගේම තමයි පොලිස් නිලධාරීන් සෑම විටම තම නිලයේ ගෞරවය රැක‍ගෙන කටයුතු කළ යුතුයි.ජනතා ප්‍රසාදය ලබා ගන්න කටයුතු කළ යුතුයි.මම පොලිස්පති වෙලා ඉදපු කාලය තුළ පොලීසියේ සුබසාධනය ඇතුළු තිබූ ගැටලු රැසකට විසදුම් සෙවීමටත් හැකියාවක් ලැබුණා.මගේ රැකියා කාලය තුළ යම් යම් දෝෂාරෝපන වගේම යම් යම් බාධා කිරීම් වලටත් මුහුණ දීමට සිදු වුණා.නමුත් මම ඒ හැම අවස්ථාවකදීම උපේක්ෂා සහගතව කටයුතු කළා.ඒ නිසා සත්‍ය ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබුණා.

මම සෑම විටම කටයුතු කළේ පෞද්ගලික ප්‍රතිරූපයට වඩා මගේ පොලිස්පති කාර්යයභාරය ඉටු කරන්න.
මම පොලිස් සේවයට බැදුනේ 1980 ජනවාරි 28 වෙනි දින. අද 2016 අප්‍රේල් 11 දින.වසර 36කට පස්සේ මම පොලිස්පති තනතුරින් විශ්‍රාම යන්නේ හරිම සැහැල්ලුවෙන්.සතුටින්.

පොලිස් සේවය ඉතාමත් අභිමානවත් සේවාවක්.මෙරට ජනතාවට විශාල සේවයක් කළ හැකි වෘත්තියක්.ගෞරවනීය සේවයක්.තම සේවය හරි ආකාරව කළා නම් අභිමානයෙන් යුතුව හොඳ මානසික මට්ටමකින් ඔළුව කෙලින් තියා ගෙන ඉන්න පුළුවන්.මම අනිත්  සියළු පොලිස් නිලධාරීන්ගෙනුත් ඉල්ලා සි‍ටින්නේ ඉටු විය යුතු සේවාව ඉටු කර අභිමානය රැක ගන්න කියලා.

මම පොලිස්පති වූ කාලය තුළ සාමාන්‍ය ජනතාවට විශාල වශයෙන් සේවයක් ඉටු කරන්න හැකියාව ලැබුණා. මහජනතාවගේ පැමිණිලි කඩිනම් කිරීමට, හදිසි ඇමතුම් සේවා ක්‍රියාත්මක කිරීමට වැනි දියුණු සේවාවක් ඇති කරන්න හැකියාවන් ලැබුණා.සමාජයේ භීෂණයක් වෙලා තිබුණු මත්කුඩු ජාවාරම මර්දනය කරන්න, ඒවාට සක්‍රීයව ක්‍රියාත්මක වෙන්න හැකියාවක් ලැබුණා.

විශාල වශයෙන් හෙරොයින් ජාවාරම් වැනි මහා පරිමාන ජාවාරම් වැටලීමට හැකියාව ලැබුණා.2013 අවුරුද්දේ හෙරොයින් කිලෝග්රෑම් 260ක්, 2016 වසරේදී හෙරොයින් කිලෝග්රෑම් 110ක් වැනි විශාල වැටලීම් අපි සිදු කළා.

සීඝ්‍ර වශයෙන් වර්ධනය වුණු මිණී මැරුම්වලට අදාළ වැටළීම් සිදු කිරීමට හැකියාවක් ලැබුණා.මාර්ග අනතුරුවලින් දිනෙන් දින මිය ගිය සංඛ්‍යාව අවම කර ගැනීමට අපිට හැකියාව ලැබුණා.ශ්‍රි ලංකා පොලීසිය ජනතාවගේ හොඳ ජීවන තත්ත්වයක් උදාකර දෙන්න හැම වෙලාවෙම කටයුතු කළා.

මාධ්‍ය ආයතන වලිනුත් මම ඉල්ලන්නේ ශ්‍රි ලංකා පොලීසිය පිළිබඳව හොඳ ප්‍රතිරූපයක්  ගොඩ නගන්න සහයෝගය ලබා දෙන්න කියලා.ඒ නිසා පොලිස් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටත් හැකායාවක් තියෙනවා.
පොලීසියේ අතපසුවීමි වලදී ඒවා පෙන්වා දෙමින් නිවරදි ගමන් මාර්ගයකට යොමු කරන්න පොලීසියේ නිලධාරීන්ට සහයෝගය ලබා දුන් මාධ්‍ය ආයතන වලට මම ස්තූතිවන්ත වෙනවා.

මම පොලිස්පති වීමට පෙර සිටම මාව මෙම තනතුරට ගේන්න සමස්ථ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යයන් විශාල සහයෝගයක් ලබා දුන්නා.මම පොලිස්පති තනතුරට සුදුසු ඇයි කියන එක රටේ ජනතාවට පෙන්වා දෙන්න මාධ්‍ය කටයුතු කළා.
ඒ සහයෝගයට ස්තූතිය පළ කිරීමට තමයි මම විශේෂයෙන්ම විශ්‍රාම යන දවසේ මාධ්‍ය ආයතව වලට කතා කරන්න හිතුවේ.මම එසේ නොකළානම් බරපතළ වරදක්.පැහැරහැරීමක්.

මම දන්න විදිහට මෑත කාලීන ඉතිහාසයේ පොලිස්පතිවරයෙකු වැඩිම කාලයක් පොලිස්පති තනතුරේ රැදුනේ මම.ඒ කාලය තුළ ඉටු කළ හැකි සෑම දෙයක්ම ශ්‍රි ලංකා පොලීසිය වෙනුවෙන් මම ඉටු කළා.ඒ සඳහා මට මාධ්‍ය ආයතන විශාල සහයෝගයක් පළ කළා.පොලිස්පති තනතුර දිනපතා අභියෝග රැසකට මුහුණ දෙන තනතුරක්. එවැනි තනතුරක කාර්යය භාරය පහසු නැහැ.ඒ සඳහා මට මාධ්‍ය ලොකු පිටුවහලක් වුණා.