සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්

June 9, 2026   07:03 am

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, සුලේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවය.

ඒ අනුව පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටින තවත් සැකකරුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්ය.

ඊට අමතරව ඊයේ (08) දිනයේ ද සුරේෂ් සලේ මහතා පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වේ. 

සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය සතියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් එදිනට පැමිණිය නොහැකි බව දන්වමින් වෙනත් දිනයක් ඉල්ලා තිබුණි.

ඒ අනුව අදාළ විමර්ශන සිදුකරන ස්ථාන භාර නිලධාරීවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.