සංගාගේ RR අවසන් වටයට

සංගාගේ RR අවසන් වටයට

May 24, 2026   10:44 pm

මුම්බායි ඉන්දියන්ස් ලකුණු 30කින් පරාජය කර මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අද (24) සමත්විය.

ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්තාන් කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවිය.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 205ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

මෙහිදී රාජස්තාන් ඉනිම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නේය.

ඔහු දැවැන්ත හයේ පහර 3ක් ද සමගින් වේගවත් ලකුණු 29ක් රැස් කර තරගයේ පීඩනය මුම්බායි පන්දු යවන්නන් වෙත දියත් කිරීමට සමත් විය.

කෙසේ නමුත් ලකුණු 206ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 175ක් පමණි. 

ඒ අනුව රාජස්තාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටින සන්රයිසස් හයිද්‍රාබාද් සමගින් මැයි 26වැනිදා චන්දිගාහ් හිදී පැවැත්වෙන Eliminator තරගයේදී හමුවීමට නියමිතය.

මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ ගුජරාට් ටයිටන්ස් එදිනම අවසන් සටනට සුදුසුකම් ලැබීමේ පළමු තරගයට (Qualifier 1) ක්‍රීඩාකරන අතර, එම තරගය ධරම්සාලාහිදී පැවැත්වේ.