ආපදාවෙන් පසු මතුවිය හැකි වසංගත රෝග පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඉල්ලයි

ආපදාවෙන් පසු මතුවිය හැකි වසංගත රෝග පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඉල්ලයි

December 7, 2025   12:23 pm

පැවති ආපදා තත්ත්වයෙන් පසුව මතුවිය හැකි බෝවන රෝග පිළිබඳ අවධානය යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ මෙම තත්ත්වය හමුවේ උණු කර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් වන බවය.

එමෙන්ම ජලය පානය සඳහා භාවිත කරන ළිං ගංවතුරින් උතුරා ගොස් ඇත්නම් එය නැවත භාවිතයට පෙර  එය නිසි ලෙස පිරිසිදු කර ක්ලෝණීකරණය කර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව භාවිතයට ගැනීමට කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ආහාර මගින් බෝවිය හැකි රෝග පිළිබඳ සැලකිලිමත් වීමේදී පිසූ ආහාර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ පිරිසිදුව ආහාර පිස ගැනීම මෙන්ම යම් පාචන රෝගී තත්ත්වයක් පවතින අයෙකු වේ නම් ඔහු ආහාර පිසීමේ ක්‍රියාවලියෙන්ද ඉවත්විය යුතු බවත්ය.

එමෙන්ම ආහාර පිළියෙල කරන වෙලාවන් සහ ආහාර අනුභව කිරීම් වෙලාවන් අනුව ආහාර විෂ වීම්ද සිදුවිය හැකි බවත් ඒ අනුව ආහාර පිසූ වේලාවේ සිට පැය 4ක කාලයක් ඇතුළත ආහාර අනුභවය ඉතා සුදුසු බවත් ආහාර අනුභවයට පෙර හොඳින් දෑත් සේදීමද අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා,

"බොහෝ තැන්වල වතුර රැඳිලා තිබෙනවා, මඩ රැඳිලා තිබෙනවා. මේක මී උණ රෝගය පැතිරීමට ඉතාම සුදුසු පරිසර තත්ත්වයක්. මී උණ කිව්වාට මීයන්ගේ විතරක් නෙමේ බල්ලන්ගේ, හරකුන්ගේ සහ ඌරන්ගේ වුණත් මුත්‍රාවල තිබිලා ජලය අපවිත්‍ර කරන්න පුළුවන්. ඒ අපවිත්‍ර ජලය අපේ ශරීරයේ කැපුම්, සීරීම්, තුවාලවලින් වුණත් අපේ ශරීරයට ඇතුළත් වෙන්න පුළුවන්. සියලුම ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් සඳහා ලබා දීමට අපි බෙදා හැරලා තියෙනවා ඩොක්සිසයික්ලයින් නැමති ඖෂධය. ඒ ඖෂධයෙන් මිලිග්‍රෑම් 200ක් වහාම ලබා ගන්න ඕනේ. සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු හෝ ඔබගේ නිවස ජලයෙන් යටවී තිබෙනවානම් දිගටම සතියක් පාසා මෙම මාත්‍රාව ලබා ගන්න"