කැලණි ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටම දක්වා පහළට
December 2, 2025 04:12 pm
කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට සුළු ගංවතුර මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද පස්වරු 02.00ක වනවිට අඩි 6.9ක් තිබු අතර එය පස්වරු 03.00 වන විට අඩි 6.75 ක් දක්වා අඩු වී තිබේ.
එමෙන්ම හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද පස්වරු 02.00ක වනවිට අඩි 7.14ක් තිබු අතර පස්වරු 03.00 වන විට අඩි 7.07ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ.
ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම අද පස්වරු 02.00ක වනවිට අඩි 8.24ක් තිබු අතර පස්වරු 03.00 වන විට අඩි 8.19ක් දක්වා අඩු වී තිබේ.
කෙසේවෙතත් මල්වතු ඔය සඳහා තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් පවතින බව දැනුම්දී ඇත.
